වර්තමානයෙහි ලෝක විනාශය පිළිබඳ විවිධ අදහස් සහ උපකල්පන පැතිරෙමින් පවතී. මේ පිළිබඳව බුදු දහමෙහි සූත්‍ර දේශනාවල ඇතුළත් අදහස් මොනවාද? මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ පුද්ගලික අදහස් නොමැතිව බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළ බවට පිළිගැනෙන ත්‍රිපිටකයෙහි අඩංගු සූත්‍ර දේශනා ඇසුරින් විස්තරයක් ඉදිරිපත් කිරීමය. අංගුත්තර නිකායේ, සත්තක නිපාතයෙහි දෙවන පණ්ණාසකයේ, මහාවර්ගයේ ඇතුළත් සත්ත සූරියග්ගමන සූත්‍ර දේශනාව මේ පිළිබඳව මනාවූ විස්තරයක් ඉදිරිපත් කරමිය. එම දේශනාවේ අඩංගු සම්පූර්ණ කරුණු මෙහි ඇතුළත් කරන්නේ නිවැරැදි අදහසක් ලබාගැනීම පිණිසය.
භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙහි අම්බපාලි වනයෙහි වැඩවසන්නේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කොට මෙසේ දේශනා කළහ. 'මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයි. අස්ථිරයි. සැනසීමක් නැත. සියලු සංස්කාරයන් කෙරෙහි කළකිරීම හෙවත් සංවේගය ඇතිකර ගැනීමට මේ කාරණයම ප්රමාණවත්ය. නොඇලී සිටීමට ප්රමාණවත්ය. මේ සියලු සංස්කාරයන්ගෙන් මිදීමට ප්රමාණවත්ය.' මෙහි සංස්කාර ලෙස අදහස් කළේ හේතු ප්රත්යයන්ගෙන් හටගත් සවිඤ්ඤාණික සහ අවිඤ්ඤාණික සෑම වස්තූන්මය. තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති,
මහණෙනි, සිනෙරු පර්වතය දිගින් යොදුන් සුවාසූදහසකි. පළලින් යොදුන් සුවාසූ දහසකි. සුවාසූ දහසක් යොදුන් මහ සයුරෙහි ගිලී සිටියේය. සුවාසුදහසක් යොදුන් මහමුහුදින් උඩට නැගී සිටියේය.'
'මහණෙනි, යම් ආකාරයකින් බොහෝ වර්ෂයක්, බොහෝ වර්ෂ සීයක්, බොහෝ වර්ෂ දහසක්, බොහෝ වර්ෂ සිය දහසක් වර්ෂාව නොවන්නේය. මහණෙනි, මෙසේ වැසි නොවැසීම නිසා බීජයන්ද වෘත-ලතා-ඔෂධ, තෘණ, කැලෑවෝ පවතිත් නම්, මේ සියල්ල වියළෙති. විශේෂයෙන්ම එනම් මුළුමනින්ම වියළෙති. නැවත නොවැඩෙති.
'මහණෙනි මෙසේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. අස්ථිරයි. සැනසීමක් නැත්තේමය. මේ නිසා සියලු සංස්කාරයන්හි කළකිරීම හෙවත් සංවේගයට මෙයම ප්රමාණවත්ය. නොඇලීමට ප්රමාණවත්ය. මිදෙන්නට ප්රමාණවත්ය.'
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනු ලබන මීළඟ විස්තරය ලෝක විනාශය පිළිබඳව ඉතා වැදගත් කොටසකි. එනම්, 'මහණෙනි, දිගුකල් ඇවෑමෙන් කිසියම්ම කලෙක දෙවැනි සූර්යයෙක් පහළ වන්නේය. මහණෙනි, දෙවැනි සූර්යයාගේ පහළවීම නිසා කුඩා ගංගාවෝද, කුඩා දියවිල්ද වියළෙති. මුළුමනින්ම වියළෙති. නොවැටෙති.'
'මහණෙනි, මෙසේ හෙයින් සංස්කාරයෝ අනිත්‍යයහ. අස්ථිරයි. සැනසීමට නම් නැත්තේමය. එබැවින් සංස්කාරයන්හි කළකිරීමට මෙයම ප්රමාණවත්ය. නොඇලීමට ප්රමාණවත්ය. මිදීමට ප්රමාණවත්ය.'
'මහණෙනි, දීර්ඝ කාලයක ඇවෑමෙන්, කිසියම් කලෙක තෙවැනි සූර්යයෙක් පහළවන්නේය. මහණෙනි, තෙවැනි හිරුගේ පහළවීම නිසා ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මහා ගංගාවෝ වියළෙති. මුළුමනින්ම වියළෙති. නොවැඩෙති.' මෙම සෑම කෙටි විස්තරයකින් පසුවම භාග්‍යවතුන් වහන්සේ සංස්කාර වස්තූන්හි ඇති අනිත්‍යතාව පිළිබඳ සිහිපත් කොට සංවේගය, නොඇලීම සහ එම සංස්කාර වස්තූන්වලින් මිදීමට සුදුසු බව අවධාරණය කරති.
'මහණෙනි, දීර්ඝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක, යම් හෙයකින් සතරවැනි සූර්යයෙක් පහළ වන්නේය. එම සතරවැනි සූර්යයාගේ පහළවීම නිසා යම් තැනකින් මහා නදීහු උපදින්නේ නම් එම මහවිල්ද, එනම් අනෝතත්ත, සිංහප්රාපාත, රථකාර, කර්ණමුණ්ඩ, කුණාල, ෂඩ්දන්ත, මන්දාකිනි නම් වූ මහවිල්හු වියළෙති. මුළුමනින් වියළෙති. නොවැඩෙති.'
'මහණෙනි, දීර්ඝ කාලයක ඇවෑමෙන් පසුව කිසියම් කලෙක, යම් හෙයකින් පස්වැනි සූර්යයෙක් පහළ වන්නේය. පස්වැනි හිරුගේ පහළවීම නිසා මහ මුහුදෙහි සියක් යොදුන් දිය පහළ බසින්නේය. මහා සමුද්‍රයෙහි දෙසීයක් යොදුන් දිය පහළ බසින්නේය. මහ සයුරෙහි තුන්සියයක් යොදුන් දිය පහළබසින්නේය. මේ ලෙස හාරසිය, පන්සිය, හයසිය සහ සත් යොදුන් දිය පහළ බසින්නේය. මහසයුරෙහි තල්ගස් හතක් පමණ ප්‍රමාණයට දිය අඩුවී සිටුණේය. මේ අයුරින් හයතලක්, පස්තලක්, සිවුතලක්, තුන්තලක්, දෙතලක්, එක්තලක් පමණ දිය මහා සමුද්‍රයෙහි අඩුවී පවතින්නේය. මීළඟට මහා සමුද්‍රයෙහි පුරුෂයන් සත් දෙනකුගේ උස ප්‍රමාණයට දිය ඉතිරිව පවතින්නේය. සය පුරුෂයන් ප්‍රමාණයටද, පස් පුරුෂයන් ප්‍රමාණයටද, සතර පුරුෂයන් ප්‍රමාණයටද. තුන් පුරුෂයන් ප්‍රමාණයටද, පුරුෂයන් දෙදෙනකුගේ ප්‍රමාණයටද, එක් පුරුෂයකුගේ ප්‍රමාණයටද, පුරුෂයකුගේ භාගයක ප්‍රමාණයටද, තුනටිය ප්‍රමාණයටද, දණිස් ප්‍රමාණයටද, ගොප්ඇට ප්‍රමාණයටද මහා මුහුදෙහි දිය ඉතිරි පවත්නේය.
'මහණෙනි, යම් පරිදි සරත් කාලයෙහි, මහ දිය පොද ඇති වැසි වසිනා කල්හි ඒ ඒ තැන්වල දිය රැඳෙන තැන්වල දිය පැවතුණේ නම්, ඒ ආකාරයෙන්ම ස්වල්ප වූ දිය මහ සයුරෙහි ඉතිරිව පැවතුණේ වෙයි. මහණෙනි, පස්වැනි හිරුගේ පහළවීමෙන් පසු ඇඟිලි පුරුක් තෙමෙන තරමට මතුවන දිය මහ සයුරෙහි නොවන්නේය.'
ලෝක විනාශය සිදුවීමේදී ගොඩබිමද, විල්ද, ගංගාවලද, මහා සමුද්‍රයෙහිද ජලය සිඳීමෙන් සිදුවන විනාශය ඉහත පැහැදිලි විණි. වැසි නොවැටීමෙන් සිදුවූ මෙම විපත ජලයෙන් සිදුවූ විනාශයයි. ඊළඟට ආරම්භ වන්නේ ගින්නෙන් සිදුවන විනාශයයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කොට දේශනා කරති.
'මහණෙනි, දිගු කලක් ඇවෑමෙන් කිසියම් කාලයෙක්හි යම් හෙයකින් හයවැනි සූර්යයෙක් පහළ වන්නේය. මහණෙනි, හයවැනි සූර්යයාගේ පහළවීමෙන් මේ මහ පොළොවත්, සුනෙර පර්වතයත් දුම් දමන්නේය. මහත්සේ දුම් දමන්නේය. අතිමහත් සේ දුම්දමන්නේය. මහණෙනි, කුඹල්කරු උදුනෙහි හෙවත් ලිපෙහි ගිනි දල්වන්නේ පළමු පළමු යම් සේ දුම් දමාද මහත් සේ, අතිමහත් සේ දුම්දමාද, මහණෙනි, ඒ ආකාරයෙන්ම මේ මහා පොළොවත් සුනෙර පර්වත රාජයාත් ඒ හයවැනි හිරුගේ පහළවීමෙන් දුම් දමන්නේය. මහත් සේ දුම් දමන්නේය. ඉමහත් සේ දුම් දමන්නේය.'
සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව සිහිපත් කරවන භාග්‍යවතුන් වහන්සේ, එහි සංවේගයට නොඇලීමට සහ එමගින් නිදහස් වීමටම යුතු බව පැහැදිලි කරති. නැවතත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.
'මහණෙනි, යම් ආකාරයකින් දීර්ඝ කාලයක් ඇවෑමෙන් පසුව සත්වැනි සූර්යයෙක් පහළවන්නේය. මහණෙනි, සත්වැනි හිරුගේ පහළවීමෙන් මේ මහ පොළොවද, සිනෙරු පර්වත රාජයාද ගිනිගෙන ඇවිලෙයි. දිලිහෙයි. එකම ගිනි ජාලාවක් බවට පත්වෙයි. මහණෙනි, මේ මහපොළොවත් සිනෙරු පර්වතයත් දැවි දැවී යත්ම වාතයෙන් විසිවී, එනම් පාවී යමින් ගින්දර බඹලොව දක්වාම යති.'
'මහණෙනි, ඇවිලී ගිය දැවෙන මහා ගිනි කඳින් මැඩුණු සිනෙරු පර්වත රාජයාගේ සියක් යොදුන් උසැති කූටයෝද බිඳ වැටෙති. දෙසියක් උසැති, තුන්සියයක් උසැති, හාරසියයක් යොදුන් උසැති, පන්සියයක් යොදුන් උසැති ගල් කුලුහුද බිඳ වැටෙති.
'මහණෙනි. ඇවිලගත් දැවෙන මේ මහපොළොවෙහිද සිනෙරු පර්වත රාජයාගේද අළු හා දැලි නොපෙනේ. මහණෙනි, ඇවිලගෙන දැවෙන ගිතෙල්හි හෝ යම් තෙල්හි අළු හෝ දැලි නොපෙනෙන්නේද, එසේම ඇවිලගෙන දැවෙන මේ මහපොළොවෙහි හා සිනෙරු පර්වත රජයාගේද අළු හා දැලි නොපෙනෙයි.'
'මහණෙනි, මේ මහ පොළොවෙහි හා සිනෙරු පර්වතරාජයා ගින්නෙන් දැවෙන්නාහ. වැනසෙන්නාහ. නොපවත්නාහ. සෝතාපන්නයන් හැර වෙන කවරක් කතාකිරීමට සමත් වේද? අදහන්නේද?
මෙයට පිලිතුරු දීමට භාග්‍යවතුන් වහන්සේ මෙවැනි කතා පුවතක් ගෙනහැර දක්වති. එය උතුම් වූ අවවාදයකි.
'මහණෙනි, පෙරසිදුවීමකින් දෘෂ්ටියක් ඇතිකරගත්, කාමයන්හි රාගය පහකළ සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් විය. සුනෙත්ත ශාස්තෘවරයාට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. මහණෙනි, සුනෙත්ත ශාස්තෘවරයා බ්‍රහ්ම ලෝකයට යාම පිණිස ශ්‍රාවකයනට දහම් දෙසයි. මහණෙනි, බ්‍රහ්ම ලෝකයට යාම පිණිස දහම් දෙසන සුනෙත්ත ශාස්තෘහුගේ අනුශාසනය යම් කෙනෙක් සියලු ආකාරයෙන් දැනගත්තේද, ඔහු මරණින් මතු සුගති සංඛ්‍යාත බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුණාහ. යමෙක් අනුශාසනය සියලු ආකාරයෙන් නොපිළිපැද්දේ ඔහු මරණින් මතු පරනිම්මිත වසවත්තියෙහි ඉපදුණාහ. ඇතැම්හු නිම්මාණරති දෙවියන් සමීපයේද, ඇතැමෙක් තුසිත දෙවියන් සමීපයේද, ඇතැම්හු යාම දෙවියන් සමීපයේද, ඇතැම්හු තාවසිංහ දෙවියන් සමීපයේද, ඇතැම්හු චතුම්මහරාජික දෙවියන් සමීපයෙහිද ඉපදුණාහ. ඇතැම්හු ක්ෂත්රීය මහා සාරයන් වෙතද, ඇතැම්හු බ්‍රාහ්මණ මහාසාරයන් වෙතද, ඇතැම්හු ගෘහපති මහාසාරයන් වෙතද ඉපදුණහ.' මෙම සුනෙත්ත ශාස්තෘවරයාට මෙබඳු සිතක් පහළ විය. පරලොවදී ශ්‍රාවකයන් හා සමානව ඉපදුණොත් එය මට නොගැළපෙයි. එම නිසා මෛත්‍රී ධ්‍යානය වඩන්නෙමි යි යනුවෙනි. සුනෙත්ත ශාස්තෘවරයා සත්වසක් මෛත්‍රී ධ්‍යානය වඩා සත්ත සංවට්ටවිවට්ට කල්පයක් මිනිස් ලොව උපදින්නට නොපැමිණේය.
ලෝක විනාශවන විට ආභස්සර ස්වභාවයටද ලෝකය විවෘත වන විට ශූන්‍ය බව බ්‍රහ්ම විමානයෙහිද උපදියි. ඔහු මහා බ්‍රහ්මයා විය. තිස්හය වරක් ශ්‍රක දේවේන්ද්‍රයා විය. අනේක වාරයක් සක්විති රජව ධාර්මිකව ධර්මරාජව, සිව්සාගර කෙළවර කොට මහ පොළොව ඇතියේ සතුරන් දිනන්නේ, ජනපදවල ස්ථාවර බවට පැමිණ සත්රුවනින් පොහොසත් විය. ඔහුට සූර වූ දහසින් වැඩි පුත්‍රයෝ වූහ. හෙතෙම සාගර කෙළවර කොට මේ පොළොව අවි ආයුධ, දඬු මුගුරු නොදරා දැහැමින් යුතුව ඉසුරුමත් විය. එම සුනෙත්ත ශාස්තෘ තෙම මෙසේ දීර්ඝායුෂ ලැබුවත්, ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි ආයාසයෙන් නොමිදුණේම විය. දුකින් නිදහස් නොවූයේ යෑයි කියමි.
ඉහත දැක්වූයේ ලෝක විනාශය පිළිබඳ සඳහස් සත්ත සූරියග්ගමන සූත්‍ර දේශනාවේ සම්පූර්ණ අදහසයි. මෙම සූත්‍ර දේශනාවේ තොරතුරු සමග අදහස් පෙළක් අප ඉදිරිපත් කරමු.
බුදුදහමට අනුව ලෝක විනාශය සිදුවන්නේ දෙවියන්ගේ ශාපයක් නිසා හෝ වෙනයම් නොපෙනෙන බලවේගයක් නිසා නොවෙයි. එසේ නම් හේතුව කුමක්ද? පිළිතුර නම් ලෝකවාසී සත්වයන්ගේ රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් බහුලවීම නිසාය.
මෙම කෙලෙස් මුල්කරගෙන සත්වයින් විසින් අප්‍රමාණ අකුසල් රැස්කරති. මේ නිසාම වතුරෙන්, ගින්නෙන් හා සුළඟින් ලෝක විනාශය සිදුවෙයි. මනුෂ්‍යයන් කෙරේ පවත්නා රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් උත්සන්න වීමෙන්, මනුෂ්‍යයන් කෙරේම ඇතිවන විනාශය, කොසොල් රජතුමාගේ සිහින දහසයෙන් පැහැදිලි වෙයි. ඉන් එකක් නම් බීජයක් හටගෙන කුඩා කාලයේම මල් ගෙඩි හටගෙන කෙටි කලෙකින් ගස විනාශවීමයි. මෙය මනුෂ්‍යයන්ගේ ආයුෂ අඩුවීමේ කතාවයි. අවුරුදු අට, දහය වන විට ඉපිද, දරුවන් ලබා මියයාමයි. වර්තමානයේද ජලයෙන්, ගින්නෙන්, සුළඟින් සිදුවන විනාශයන්ට මිනිස් ප්‍රජාවම වගකීම භාරගත යුතු නොවේද? ලෝභාදී කෙලෙස් නිසා ප්‍රාණඝාතයේ පටන් අකුසල් සිදුකරන විට විනාශවන්නේ මෙම ස්වභාවික පරිසරයම නොවේද? පරමාණු බෝම්බ, න්‍යෂ්ටික අවි, සුළඟින් විනාශය රැගෙන යන රසායනික අවි එයට නිදසුන් නොවේද? ලෝක විනාශය සමීපද නැද්ද යන්න තීරණය වීමේදී මනුෂ්‍යයන්ගේ කුසල්, අකුසල්ද ප්‍රධාන නිර්නායක වන බව පැහැදිලිය. මධ්‍යස්ථව විමසීමේදී පැහැදිලිවන කරුණ වන්නේ අප වඩාත් කුසල් මඟට හෙවත් සීල, සමාධි, ප්‍රඥ වඩන මඟට යොමුවීමෙන් හේතුඵල දහමට අනුව විනාශවන ලෝකයට ඉඩදී ජීවත්වීමය. බෞද්ධ දර්ශනයට අනුව පවසන්නේ නම් ලෝකය නම් වූ ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ගෙන් ඇතිවන භයානක විනාශයෙන් සදහටම මිදීමට තෘෂ්ණාව මුළුමනින්ම ප්රහාණය කිරීමයි. කිසිදු ලෝක විනාශයක් ගැන බියක් එවිට නැත.