යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

විශ්වයේ සම්භවය හා පරිණාමය සරල බසින්

අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරිනි

බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කරනු ලබන්නේ මිගාරමාතුපාසාද නම් වූ පූර්වාරාමයෙහි වැඩ වෙසෙන සමයෙක ය.

වාසෙට්‌ඨ භාරද්වාජ යන බමුණු කුලයෙහි පැවිදි පඬිවරු දෙදෙනා නිමිති කරගෙන මෙම සූත්‍රය දේශනාකොට ඇත. බුදුරජාණන් වහන්සේ සවස්‌ යාමයෙහි ඵල සමවතින් නැඟê සිටියේ, එළිමහනෙහි සක්‌මන් කරමින් වැඩ සිටියහ. උන්වහන්සේ අනුව වාසෙට්‌ඨ භාරද්වාජ භික්‍ෂු දෙනම ද සක්‌මන් කළහ.

එකල්හි බුදුරජාණන් වහන්සේ වාසෙට්‌ඨ භාරද්වාජ භික්‍ෂු දෙනමගෙන් මෙසේ ප්‍රශ්න කරති.

තෙපි වූ කලී බ්‍රාහ්මණ ජාතික වූ බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූ බ්‍රාහ්මණයන් හැර ගිහි ගෙයින් නික්‌ම සසුන් වන්නෝ වෙහු. තොපට බ්‍රාහ්මණයෝ අක්‍රෝශ නො කරත්ද? පරිභව නො කරත්ද?"

එවිට වාශිෂ්ඨ භාරද්වාජ භික්‍ෂු දෙනම ප්‍රකාශ කොට සිටින්නේ අපරිපූර්ණ නොවූ පරිපූර්ණ වු තමනට හුරු පුරුදු වචනයෙන් අක්‍රෝශ පරිභව කරන බවත්ය.

"ස්‌වාමීනී, බමුණෝ මෙසේ ප්‍රකාශ කරත්. බ්‍රාහ්මණ වංශයම ශ්‍රේෂ්ඨය, ශුක්‌ල වර්ණය, ශුද්ධ වෙත්, අනික්‌ වර්ණයෝ එසේ නොවෙති. බ්‍රාහ්මණයෝම බඹුහුගේ මුවින් බිහි වූ, බඹුහුගෙන් උපන්, බඹුහු විසින් මවන ලද බඹහුගේ ඖරස පුත්‍රයෝ ය. මෙවැනි ශ්‍රේෂ්ඨ වර්ණයක්‌ අතහැර ඔබලා හීණ වර්ණයකට ගියහ. " යනුවෙන් ඔවුහු ප්‍රකාශ කරති.

" තෙ තුම්හෙ සෙට්‌ඨං වණ්‌ණං හිත්වා - හීනමත්ථු වණ්‌ණං අජ්Cධුපගතා"

බුදුරජාණන් වහන්සේ දේශනාකොට සිටින්නේ බමුණෝ එසේ ප්‍රකාශකොට සිටින්නේ පුරාණ කතාව නොදන්නාකම නිසා බවයි.

"තග්ග වො වාසෙට්‌ඨො බ්‍රාහ්මණා පොරාණං අසරන්තා එවමාහංසු"

වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යෑයි කුල හතරකි. මෙම කුල හතරේම පිරිස පහත සඳහන් වැරදි වැඩ කරති.

ප්‍රාණඝාතය සිදු කිරීම

නොදුන් දේ ගැනීම

කාමයෙහි වරදවා හැසිරීම

බොරු කීම

පෙහෙසුන් තෙපලීම

පරොස්‌ බස්‌ කීම

සම්පප්‍රලාප කීම

අභිධ්‍යා බහුල වීම

ව්‍යාපාදයට පත්වීම

තවද මෙසේ කුසල යෑයි කියන ලද කුසල්ම වූ, වරද රහිත වූ, වරද රහිත යෑයි කියන ලද සෙවිය යුතු යෑයි කියන ලද සේවනය වූ, ආර්යභාවයට පත් වූ බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර වංශිකයෝ ද ඇත. ඔවුහු නුවණැත්තන් විසින් පසස්‌නා ලද යහපත් ධර්මයෙහි ඇතැමෙක්‌ පිහිටුවති.

මේ සතර වර්ණයෙන් ඇතැමෙක්‌ රහත් ද, ක්‍ෂීණාස්‍රව ද, වුසු මග බඹසර ඇත්තේ ද, කොට නිමි කටයුතු ඇත්තේ ද, පැමිණි ස්‌වාර්ථය රහත් බව ඇත්තේ ද, හැම ලෙසින් නැසූ භවබන්ධන ඇත්තේද, මොනවට දැන මිදුණේ ද, හෙතෙම හැමදෙනා අතුරෙන් අග්‍රයෑයි කියනු ලැබේ. මක්‌නිසාද? ඔහු අග්‍රවන්නේ 

"ධම්මෙනෙව නො අධම්මෙන ධම්මොහි වාසෙට්‌ඨො සෙට්‌ඨො ජනෙතස්‌මිං දිට්‌ඨෙ මෙව ධම්මෙ අභිසම්පරායෙච"

ඒ අධර්මයෙන් නොව ධර්මයෙන්ය. වාශිෂ්ඨයෙනි, ධර්මයම මෙලොව පරලොව ද ශ්‍රේෂ්ඨය.

ඉන් පසු බුදුරජාණන් වහන්සේ මෙලොව පරලොව දෙලොවම ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයම බව තහවුරු කරගැනීම සඳහා තවත් තර්කයක්‌ ගෙන හැර දක්‌වති.

එනම් පසේනදී කොසොල් රජතුමාය. ශාක්‍යවංශිකයෝ එතුමාට ගෞරව දක්‌වති, බුහුමන් දක්‌වති, කළමනා සැලකිලි දක්‌වති. තවද එතුමා කෙරෙහි ආදරය දැක්‌වීම, වැඳීම, දැක නැඟී සිටීම, ඇඳිලිබැඳීම, වත් දැක්‌වීම ද කරති. එතුමා මේ සියල්ල ශාක්‍යවංශිකයෙක්‌ වූ මාහට ද දක්‌වයි. එතුමා එසේ සිදු කරන්නේ " ශ්‍රමණ භවත් ගෞතමයන් බලවත්ය, මම බලවත් නොවේ" ආදී වශයෙන් සිතමින් නොවේ. එතුමා එසේ සිදු කරන්නේ ධර්මයටම ය.

"අථ ඛො තං ධම්මං යෙව සක්‌කරන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං මානෙන්තො ධම්මං පූජෙන්තෝ ධම්මං අපචායමානෝ......"

ධර්මයටම සත්කාර කරනුයේ, ධර්මයට ගෞරව කරනුයේ, ධර්මයට බුහුමන් කරනුයේ, ධර්මයට පුදනුයේ, ධර්මයටම යටත් පැවතුම් දක්‌වනුයේ වෙයි.

තවද අග්ගඤ්ඤ සූත්‍රයෙහි බ්‍රාහ්මණ මතය ඛණ්‌ඩනය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරති.

"වාශිෂ්ඨයෙනි, තෙපි වූ කලී නා නා ජාතියට අයත් වන්නා වූ, නා නා ගෝත්‍රයට අයත් වන්නා වූ, නානා කුලයට අයත්වන්නා වූ ගිහිගෙයින් නික්‌ම ශාසනයෙහි පැවිදි වූහ. තෙපි කවුරුදැයි විචාළ කල්හි මෙසේ පිළිතුරු දිය යුතුය."

"සමණා සක්‍යපුත්තියම්හාති පටිජානාථ" අපි ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ පුත්‍රයෝ වෙමු. 

උන්වහන්සේ කෙරෙහි පවත්නා වූ මුල්බැසගත් ශ්‍රද්ධාව දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බඹෙකුට හෝ ලොවෙහි කිසිම පුද්ගලයෙකුට නොසෙල්විය හැකි නොවේ. මක්‌නිසාද? උන්වහන්සේ ධර්මකාය, බ්‍රහ්මකාය, ධර්මභූත, බ්‍රහ්මභුත ආදී නාමයන්ගෙන් හඳුන්වන නිසාය.

ඉන්පසුව බුදුරජාණන් වහන්සේ ලෝකාරම්භ හා ලෝක විනාශ කතාව දේශනා කිරීමට අවශ්‍ය මූලාශ්‍ර මෙසේ ඉදිරිපත් කරති.

" වාශිෂ්ඨයෙනි, කිසියම් කාලයක මේ ලෝකය විනාශයට පත්වේ. එසේ විනාශ වන විට සත්ත්වයෝ ආභස්‌සරා බ්‍රහ්මලෝකයේ උපදිති. ඔවුහු එහි උපදින්නේ ධ්‍යානචිත්ත බලයෙනි. ප්‍රීතිය ආහාරකොට, තම සිරුරේ ආලෝකයෙන් ආලෝකය ලබාගෙන අහසින් ගමන් කරමින්, සිත්කලු වස්‌ත්‍රාභරණ හැඳ පොරවාගෙන බොහෝ කාලයක්‌ ජීවත්වෙති. දිගු කලක්‌ ඇවෑමෙන් ලෝකය ආරම්භ වේ. ආභස්‌සරා බ්‍රහ්මලෝකයෙන් බමුණන් අවුත් මිනිස්‌ ලොව උපදියි."

1. රසපඨවිපාතුභාවො

ආභස්‌සරා බ්‍රහ්මලෝකයෙන් පැමිණි බමුණන්, මිනිස්‌ වෙසින් මනුලොව පහළ වුවාට පසුව රස පොළොව ලෝකයේ පහළ විය. රස පොළොවෙහි ස්‌වභාවය මෙසේය.

"වාශිෂ්ඨයෙනි, ඉක්‌බිති යම්සේ නිවෙන්නා වු හුණු කිරි මත්තෙහි යොදයක්‌ වේද එසේ ය. වර්ණ සම්පන්නය, ගන්ධ සම්පන්නය."

තවද ලෝකයේ විවෘත වූ සමයෙහි සියලුම සක්‌වල එකම දිය කඳක්‌ බවත් ඒ සියලුම දිය කඳ මත්තෙහි රස පොළොව ප්‍රචාරය වී තිබුණු බවත් සූත්‍රයෙහි සඳහන් වේ. මේ වන විට සඳ හිරු දෙදෙනා, නැකත් තරු, රෑ දාවල්, මාස පක්‍ෂයෝ, සෘතු සංවත්සරයෝ, ස්‌ත්‍රී පුරුෂ පහළ නො වූහ. එක්‌තරා ලෝලී ස්‌වභාවය ඇති පුද්ගලයෙක්‌ රස පොළොවට තෘෂ්ණාව ඇතිවිය. රස පොළොවට ඇඟිල්ල දමා දිව මත තැබුවේ, ආශාව ඇති විය. ලෝකයේ වෙනස්‌වීම එමගින් ආරම්භ වූ බව අග්ගඤ්ඤ සූත්‍රයෙහි විස්‌තර වේ.

ඉන්පසුව ඒ ආකාරයටම අනිකුත් සියලුම සත්හු රස පොළොව ඇඟිල්ලෙන් ඇන අනුභව කරන්නට වූහ. සියලුම දෙනාට තෘෂ්ණාව ඇතිවිය. ප්‍රීතිය ආහාර කොට ජීවත් වූ මොවුන්ට ස්‌වයංප්‍රභාස්‌වරය අතුරුදන් විය. ක්‍රම ක්‍රමයෙන් රස පොළොව කොටස්‌ කොට ගෙන අනුභව කරන්නට වූහ. ඔවුන්ගේ ස්‌වයංප්‍රභාස්‌වරය අතුරුදන් වූ කල්හි,

"චන්දිමසුරියා පාතුරහෙසුං, චන්දිමසුරියෙසු පාතුභූතෙසු නක්‌ඛත්තානි තාරකරූපානි පාතුරහෙසුං. රත්තින්දිවා පඤ්ඤයිංසු. මාස්‌ධමාසෙසු පඤ්ඤයමානෙසු උතුසංවච්ඡරා පඤ්ඤයිංසු"

ප්‍රීතිය වෙනුවට රස පොළොව අනුභව කිරීමත්, එය කොටස්‌කර ගැනීම නිසාත් ස්‌වයංප්‍රභාස්‌වරය අතුරුදන් වීමෙන් පසුව හිරු සඳු, නැකත් තරු, රාත්‍රි දාවල්, මාස, සෘතු ආදිය ලෝකයේ පහළ වූහ. ක්‍රම ක්‍රමයෙන් රස පොළොව අනුභව කිරීම නිසා ඔවුන්ගේ සිරුරු රළු බවට පත්විය. නොපැහැපත් විය. ඔවුන් අතුරෙන් ඇතැමෙක්‌ පැහැපත් වූ අතර ඇතැමෙක්‌ අවලස්‌සන වූහ. මෙසේ සත්ත්වයන්ගේ සිතෙහි මානය හෙවත් මානාහි මානය ඇතිවීම හේතුවෙන් රස පොළොව අතුරුදන් විය.

"තේසං වණ්‌ණාතිමානපච්චයා මානාතිමානජාතිකානං රස පඨවි අන්තරධායී"

රස පොළොව අතුරුදන් වීමෙන් අනතුරුව ඔවුහු එක්‌රැස්‌ වූහ. එක්‌රැස්‌ව "අහෝ පෘථිවි රසය, අහෝ පෘථිවි රසය" යෑයි පුන පුනා කීහ. අද ද මිනිස්‌සු මනාප රසයක්‌ ලැබ අතුරුදන් වූ කල්හි අහෝ රසය, අහෝ රසයෑයි මෙසේ කියත්. ඒ පැරැණි ලෝකෝත්පත්ති කතාව අනුව යන බවත් එහි අරුත නොදන්නා බවත් දේශනා කරති.

"තදෙව පොරානං අග්ගඤ්ඤං අක්‌ඛරං අනුසරන්ති නවෙස්‌ස අත්ථං අජානන්ති."

2. භූමිපප්පටකපාතුභාවො

රස පොළොව අතුරුදන් වීමෙන් අනතුරුව භූමිපප්පටකය (බිම් පප්පඩම්) පහළ විය. යම්සේ නා හතු පහළ වන්නේද? ඒ ආකාරයෙන් මෙය පහළ වේ. තවද මෙය පැහැපත් ය. සුවඳවත්ය, රසවත්ය.

"සෙය්‍යථාපි නාම බුද්දමධු අනෙලකං එවමස්‌සාදො අහොසි."

භූමිපප්පටකය පිළවුන් නැති මීවදයක්‌ වැනිය. පිරිසිදු මීවදයක යම් රසයක්‌ ඇද්ද? මෙය ඒ රසයෙන් යුක්‌තය. ඉන්පසුව සත්හු භූමිපප්පටකය වළඳන්නට වූහ. මෙසේ භූමිපප්පටකය ආහාරයට ගත් සත්ත්වයන්ගේ ශරීරය ක්‍රමක්‍රමයෙන් රළු විය. පැහැය අඩු විය. ඔවුනට මෙබඳු සිතුවිලි පහළ විය. මොහු මට වඩා ලස්‌සනය, මම මොහුට වඩා ලස්‌සනය ආදී වශයෙනි. එම සිතුවිලි නිසාවෙන් භූමිපප්පටකය ද අතුරුදන් විය.

"තෙසං වණ්‌ණාතිමානපච්චයා මානාතිමානජාතිකානං භූමිපප්පටකො අරන්තරධායි"

3. බදාලතාපාතුභාවො

භූමිපප්පටකය අතුරුදහන් වූ කල්හි බදාලතාව පහළ විය. විල්පලා යම්සේ ද බදාලතාවද එබඳුය. මෙය රසවත්ය, පැහැපත්ය, සුවඳවත්ය, පිරිසිදු මීවදයක්‌ මෙන් රසවත්ය. සත්ත්වයෝ බදාලතාව අනුභව කරන්නට වූහ. ඉතා දිගු කලක්‌ බදාලතාව අනුභව කිරීම නිසා ඔවුන්ගේ ශරීරය ඉතා රළු තත්ත්වයට පත්විය. මානාතිමානය නිසා බදාලතාව ද අතුරුදන් විය.

"තෙසං වණ්‌ණාතිමානපච්චයා මානාතිමානජාතිකානං බදාලතා අන්තරධායි"

ඉන්පසුව ඔවුහු රැස්‌වූහ. " පෙර අපිට මෙසේ තිබුණි, දැන් අපිට නැත" යනුවෙන් සිහිපත් කළහ. අද ද සත්ත්වයෝ පුරාණ කතාව මෙබඳු අවස්‌ථාවක සිහිපත් කරති.


" අහූ වත නො, අහායි වත නො" ති. තදෙව පොරාණං අග්ගඤ්ඤං අක්‌ඛරං අනුසරන්ති, නෙFවස්‌ස අත්ථං අජානන්ති."


4. අකට්‌ඨපාකසාලිපාතුභාවො


බදාලතාව අතුරුදන් වීමෙන් අනතුරුව හාල් විශේෂයක්‌ පහළ විය. එහි ස්‌වභාවය මෙසේය. 

"අකණො අථුසො සුද්ධො සුගන්ධො තණ්‌ඩුලඵලො"

නොසෑ පොළොවෙහි හටගෙන පැසෙන, කුඩු නැති, දහයියා නැති, සුවඳවත් සහල් විශේෂයෙකි. එකල්හි ඒ සත්ත්වයෝ නොසාන ලද බිමෙහි හටගෙන පැසුණු, හැල්සහල් පරිභොග කරන්නා වූ, එයම වළඳන්නා වූ, එයම ආහාර කොට ගන්නා වූ, ඉතා බොහෝ කාලයක්‌ සිටියහ.

5. ලිŒගපාතුභාවො

මෙසේ නොසෑ පොළොවෙහි හටගෙන පැසෙන, කුඩු නැති, දහයියා නැති, සුවඳවත් සහල් අනුභව කරන විට ඔවුන්ගේ ශරීර වඩ වඩාත් රළුවිය. අපැහැපත් විය. ස්‌ත්‍රියට ස්‌ත්‍රී ලිංගය ද පුරුෂයාට පුරුෂ ලිංගය ද පහළ විය.

"තෙසං අතිවෙලං අඤ්ඤමඤ්ඤ උපනිඡ්Cධායතං සාරාගො උදපාදි, පරිළාහො කායස්‌මි ඔක්‌කම්. තෙ පරිළාහපච්චයා මෙථුන ධම්මං පටිසෙවිංසු."

ඔවුන් එකිනෙකා දිහා බොහෝ වේලාවක්‌ බලා සිටීම නිසා සරාගය පහළ විය. රාගපරිදාහය ශරීරයෙහි හටගත් අතර එම නිසාම මෙවුන්දම්හි හැසිරුණේය. මෙය දකින සත්ත්වයන් "වසලිය, නැසෙව, වැනසෙව, කෙසේ නම් මෙසේ හැසිරෙන්නේදැයි" කියා පස්‌ දමා ගසත්, අළු දමා ගසත්, ගොම දමා ගසත්, අද ද මෙය සත්ත්වයන් සිදුකරන්නේ පුරාණ වංශයට අනුවය.

6. මෙථුනධම්මසමාචාරො

මෙකල, අසම්මතය සම්මත විය. අධර්මය ධර්මය විය. මෙකල සත්ත්වයන් මෙවුන්දම් සේවනය කරනුයේ, තුන් මසකින්, දෙමසකින් ගමකට හෝ නියම්ගමකට පිවිසෙන්නට නොහැකි විය. එසේ හෙයින් බොහෝ වේලාවක්‌ මෙවුන්දම් කිරීම පිණිසත්, අසද්ධර්මය වසාලනු පිණිසත් ගෙවල් කරන්නට වූහ.

"අථ ඛො අගාරානි උපක්‌කමිං සුකාතුං, තස්‌සෙව අසද්ධම්මස්‌ස පටිච්ඡාදනත්ථං"

ඉක්‌බිති එක්‌තරා අලස පුද්ගලයෙකුට මෙබඳු ෙච්තනාවක්‌ පහළ විය. උදේ භොජුන් සඳහා උදෑසන ද, හවස භොජුන් සඳහා හවස ද, හැල් ගෙන ඒම දුෂ්කරය. දෙවේලටම එකවර හැල් ගෙන එමි. ඉන්පසුව දවසට, දවස්‌ දෙකකට, ප්‍රමාණවත් පරිදි හැල්ගෙන ආවේ ය. ඔහුගේ එම ක්‍රියාකලාපය අනිකුත් සත්ත්වයන්ද ඉෂ්ට කළහ. ඉන්පසුව සතර දිනකට ද, අටදවසකට ද, සහල් ගෙනාවේය. ඉන්පසුව කුඩුවලින් ද, දහයියාවලින්ද, අපිරිසිදුකමින්ද, සහල් වසාගත්තේය.

7. සාලිවිභාගො

ඉන්පසුව ඔවුහු එකිනෙකා රැස්‌ව අතීතයෙහි සිදු වූ සියල්ල සාකච්ඡා කළහ. ඔවුන්ගේ ආශාව, මානය නිසා සියල්ල අතුරුදන් වීමත්, ලෝකය ප්‍රභවය ඇති වූ අයුරුත් මෙම කොටසේ දී සාකච්ඡා කොට ඇත. අවසානයේදී සහල් කොටස්‌ වශයෙන් බෙදාගත්හ. ඉන්පසුව එක්‌තරා ලොල් මිනිසෙක්‌ තමාගේ කොටස ආරක්‍ෂා කරනුයේ, අනෙකෙකුගේ කොටස නොදන්වා පරිභෝජනය කළේය. දෙවනුවද, තෙවනුව ද, හෙතෙම එම ක්‍රියාව සිදු කළේය. ඉන්පසුව ලෝකයේ නොදුන් දෙය ගැනීම, බොරු කීම, දණ්‌ඩදානය පහළ විය.

" අඤ්ඤෙපාණිනා පහරිංසු. අඤ්ඤෙ ලෙඩ්ඩුනා පහරිංසු. අඤ්ඤෙ දණ්‌ඩෙන පහරිංසු. තදග්ගෙ ඛො පන වාසෙට්‌ඨ අදින්නාදානං පඤ්ඤායති, ගරහා පඤ්ඤායති, මුසාවාදො පඤ්ඤායති, දණ්‌ඩදානං පඤ්ඤායති."

8. මහාසම්මතරාජා

මෙම පාපකාරී, ලාමක අකුසල් ෙච්තනා පහළ වීමෙන් අනතුරුව සත්ත්වයන් සාකච්ඡා කළේ ගැරහිය යුත්තාට ගැරහීම පිණිසත්, නෙරපිය යුත්තා නෙරපීම සඳහාත්, දොස්‌ නැගිය යුත්තාට දොස්‌ නැඟêම සඳහාත්, එක්‌ සත්ත්වයෙකු සම්මත කළ යුතු බවයි. වඩා රූපසම්පන්න, වඩා දැකුම්කලු, වඩා සිතපහදවන සුලු, මනා තේජසක්‌ ඇති, සත්ත්වයෙකු මහාසම්මත රජෙකු ලෙස පත්කර ගත්හ. මහජනයා විසින් සම්මත කරගත් බැවින් ඔහු මහාසම්මත විය.

ඉන් පසුව කෙතට අධිපතියා ක්‍ෂත්‍රීය යනුවෙන්ද, "ඛෙත්තානං අධිපතීති ඛො වාසෙට්‌ඨො ඛත්තියො" දෙවැනි ව්‍යවහාරයද, ධාර්මිකව සත්ත්වයා පාලනය කරන බැවින් රාජ ව්‍යවහාරයද, "ධම්මෙන පරෙ රඤ්ජෙතීති ඛො වාසෙට්‌ඨ රාජං" ලොව පහළ විය. මෙසේ ක්‍ෂත්‍රීය මණ්‌ඩලයේ ආරම්භය සිදුවිය. එයද සිදු වූයේ ධර්මයෙන්ම ය, අධර්මයෙන් නොවේ.

9. බ්‍රාහ්මණ මණ්‌ඩලං

ලාමක වූ අකුශල ධර්මයන් බැහැර කරන පුද්ගලයන් බ්‍රාහ්මණයෝ නම් විය.

" පාපකෙ අකුසලෙ ධම්මෙ ඛාහෙන්තීති ඛො වාසෙට්‌ඨො බ්‍රාහ්මණා බ්‍රාහ්මණා ෙFව්ව පඨමං අක්‌ඛරං උපනිබ්බිත්තං" ඔවුහු අහර ලැබගෙන පෙරළා ගොස්‌ වන පෙදෙස්‌හි පන්සල්හි ධ්‍යාන කෙරෙත්. ධ්‍යාකයෝය, ධ්‍යාකයෝයි දෙවැනි නම ඔවුනට ඇති විය. ඔවුහු ධ්‍යාන නොකරන බැවින් මොවුහු අධ්‍යායකයෝ යෑයි තෙවැනි ව්‍යවහාරය ඇති විය.

10. වෙස්‌සමණ්‌ඩලං

මෛථුන ධම්ම ආදිය සේවනය කොට ගවපාලනාදී රැකියා කළ අය වෛශ්‍ය නම් විය.

11. සුද්දමණ්‌ඩලං

රෞද්‍රdචාර, ක්‍ෂුද්‍රdචාර ඇත්තෝ වූහ. ක්‍ෂුද්‍රdචාර හැසිරීම් ඇති අය සුද්දමණ්‌ඩල හෙවත් ශුද්‍රයෝ නම් විය. මෙම සතර මණ්‌ඩලය ගිහි ගෙයින් නික්‌ම පැවිදි බිමට පත්වන්නේ ද එයින් ශ්‍රමණ මණ්‌ඩලයාගේ ආරම්භය විය. බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, ශ්‍රමණ මණ්‌ඩලයන්ගේ ආරම්භය සිදුවන්නේ ධර්මයෙන්ය. අධර්මයෙන් නොවේ. සමානයන් අතරය. අසමානයන් අතර නොවේ.

12. දුච්චරිතාදිකථා

ක්‍ෂත්‍රීයයා ද, බ්‍රාහ්මණයා ද, වෛශ්‍යයා ද, ශුද්‍රයා ද, ශ්‍රමණයා ද, සිත - කය - වචනය - යන තුන් දොරින් දුශ්චරිත කොට, සැප නැති, දුකට තැන් වූ නිරයට පැමිණෙයි. මොවුන් ද කුසල් කොට ස්‌වර්ග ලොවට පැමිණෙයි. අකුසල් කුසල් දෙකම කොට නිරයේ ද, ස්‌වර්ගයේ ද උපදිති.

13. බොධියපCය භාවනා

ක්‍ෂත්‍රියයා ද සත්තිස්‌ බෝධිපාක්‍ෂික ධර්මයන් වඩා රහත් භාවයට පත්වෙයි. සතර වර්ණයෙන් කවරෙක්‌ නමුදු, අරහං, අරහත් වූ, ‚ණාසවො, නැසූ ආශ්‍රව ඇති, වුසිතවා, වැස අවසන් කළ බඹසර ඇත්තේ, කතකරණීයො, කරන ලද කටයුතු ඇත්තේ, ඔහිතභාරො, බහාතැබු බර ඇත්තේ, ආදී කෙළෙසුන්ගෙන් මිදුණු මහණෙක්‌ වේද? හෙතෙම හැමදෙනා අතුරෙන් අග්‍ර වේ. සනන්කුමාර බ්‍රාහ්මණ පුත්‍රයා මෙසේ ප්‍රකාශ කළේය.

" ඛත්තියො සෙට්‌ඨො ජනෙතස්‌මිං - යෙ ගොත්තපටිසාරිනො

විඡ්ජාචරණසම්පන්නො - සො සෙට්‌ඨො දෙවමානුසෙ ති"

යම් කෙනෙක්‌ ගෝත්‍රය සිහිකරන්නේ වේද? ඒ ඒ ජනයා අතුරෙන් ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ වන්නේද? විඡ්ජාචරණ ධර්මයන්ගෙන් යුක්‌ත බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වේ. බුදුරදුන් ද ඉහත ගාථාව අනුදැන වදාළ සේක. උන්වහන්සේ ද එම ගාථාව ඒ ආකාරයෙන්ම සූත්‍රයේ දේශනා කොට ඇත.


කො/ ශ්‍රී ධර්මරක්‍ෂිත 
ත්‍රිපිටක ධර්මායතන පිරිවෙනේ ආචාර්ය 
බම්බලපිටිය මෙත්තාරාමවාසී සිටිනාමළුවේ පඤ්ඤාවංස හිමි

යෝග ශාස්ත‍්‍රයේ ආධ්‍යාත්මික සුවය

ඈත අතීතයේ මේ ලෝකයේ මිනිසුන් පහළ වූ යුගයේ ඔවුන්ගේ ශරීරයේ විශාල ආලෝකයක් පැවති බව කියැවෙනවා. ඒ මගින් අඳුරක් තුළ වුවත් දැකීමේ හැකියාවක් පැවතුණා. අධ්‍යාත්මික වර්ධනය වූ චිත්ත ශක්තියක් තිබුණා. පසුකාලීනව මේ මිනිසුන් තුළ කාම ආශාව ඇවිත්, ලිංග භේද හටගෙන කාන්තාව පිරිමියා වශයෙන් කොටස් වී කාම සේවනයේ යෙදීම, කුටුම්භ සංරක්‍ෂණය ආදිය සිදුවෙමින් අධ්‍යාත්මික පිරිහීමක් සිදුවුණා. මේ සමාජයේම සිටි පිරිසක් එකල සිදුවෙමින් පැවති මේ අධ්‍යාත්මික පිරිහීම දණ්ඩනය දුටු නිසා සාමාන්‍ය ජීවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී වනයේ ධ්‍යාන භාවනා වැඞීම ආරම්භ කළා.
ඒ පිරිස එදා සමාජයේ සිටි මිනිසුන්ට ධ්‍යාන වඩන්න කියලා එන්න කිව්වට ඔවුන් කවුරුවත් අද වගේම ආවේ නැහැ. එහෙම ආවේ නැති නිසා සාමාන්‍ය ජීවිතයේ සිටිමින්, කුටුම්භ සංරක්‍ෂණය කරමින් අධ්‍යාත්මික ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා ඍෂිවරු ක‍්‍රමයක් නිර්මාණය කළා. ඒ අනුව ශරීරය මුල් කරගත් හැඩතලවලින් ඉරියව් 84ක් නිර්මාණය කළා. ඍෂිවරු උපක‍්‍රමයක් ලෙස ඉදිරිපත් කළ මේ ඉරියව් 84 හි යෙදීම ම ධ්‍යාන වැඞීමට හේතු වුණා.එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ විශාල අධ්‍යාත්මික ශක්තියක් ගොඩනැගුණා. අහසේ පාවී යාම, ශරීරය නොපෙනී යාම, පොළොවේ ගිලීම, පෙර ජීවිත දැකීම ආදී වශයෙන් මහා බලවත් චිත්ත ශක්තියක් ඇති පිරිස් මොවුන් අතරින් පහළ වුණා. ලෝකයේ මුලින්ම ඍෂිවරු ලෙස හැඳින්වූයේ මොවුන් තමයි.
යෝග ශාස්ත‍්‍රය ලොවට බිහිවූයේ මේ හේතුව නිසාමයි. එහි වෙනත් කිසිදු හේතුවක් ගෙනහැර දක්වන්න බැහැ. ඒ කාලයේ දී හිරන්‍යගර්භ, පතංජලී, අහස්ථි, දණ්නන්තරී වැනි මහා ඍෂිවරු මිනිසුන්ගේ පැවැත්ම දෙස සානුකම්පිතව බලා තවත් ශාස්ත‍්‍ර ගණනාවක් ලොවට හඳුන්වා දුන්නා.
ආයුර්වේදය, ජ්‍යොතිෂ්‍යය, ශබ්ද ශාස්ත‍්‍රය, පැළෑටි විද්‍යාව, මන්ත‍්‍ර ශාස්ත‍්‍රය, ගණිතය ආදී විද්‍යා ඒ අතර වුණා. මේ සියල්ලටම පාදක වූ ශාස්ත‍්‍රයක් හැටියට යෝග ශාස්ත‍්‍රය පැවැත්වුණා. යෝග ශාස්ත‍්‍රයේ පවතින්නේ ආදරය කරුණාව මානව දයාව හා මනුෂ්‍යත්වය යි.
අද තියෙන සමාජයේ දකින්න නැත්තෙත් එහෙම නැතිනම් අද සමාජයට අවශ්‍ය වෙලා තියෙන්නෙත් මේ මනුෂ්‍යත්වය තමයි. තමන් අත්දකින දුක ඒ විදිහට තවත් කෙනකුට දකින්න පුළුවන් වීම අද වේගයෙන් පිරිහිලා යනවා. මිනිසුන්ගේ හදවත් රෞද්‍ර ස්වභාවයක් ගෙන තිබෙනවා. ඉතිං ඒ සමාජයේ දී අපේ අනාගත දරුවන්ට අනාගත තරුණයන්ට තව දුරටත් ජීවිතය සුවපහසුවෙන් ගත කරන්න පුළුවන් ද කියන පැනය ඇති වෙනවා.
රළුවෙන සමාජයේ ඊට වඩා රළු දරුවෙක් තරුණයෙක් නිර්මාණය වුණොත් මීළඟ පරපුර ඊටත් වඩා රළු වෙනවා. මේ ආකාරයේ ගමනක් නම් යන්නේ අපේ ගමන තවත් අවුරුදු සීයකට දෙසීයකට වැඩිය දුර යන්නේ නැහැ. මෙවැනි වාතාවරණයක් මත  ඕනෑම වයසක අයකු යෝග ශාස්ත‍්‍රයේ යෙදෙනව නම් ඒ අයගේ මානසික සහනය, මානසික සුවදායක බව, සැහැල්ලූව, නිරෝගී බව අනිවාර්යයෙන්ම ඔවුන් කරා පැමිණෙනවා.
ඒ හඬ එක්තරා ආකාරයකින් දිගු දේශනයකි. අපි අසා සිටියෙමු. හිමාලයේ යෝගීන් ඇසුරේ යෝග ශාස්ත‍්‍රයේ අකුරු වියමන සොයා ගිය අර්ජුන වැඩි වශයෙන්ම අවධානය යොමු කළේ යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කිරීම ඔස්සේ ළඟා කරගත හැකි අධ්‍යාත්මික සුවය පිළිබඳවය. සැබැවින්ම අප පුන පුනා කී ආකාරයෙන්ම යෝග ශාස්ත‍්‍රයේ අරමුණ විය යුත්තේ ද එකී ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කිරීම ඔස්සේ ළඟා කරගත හැකි අධ්‍යාත්මික සුවයමය.
යෝග ශාස්ත‍්‍රය නිර්මාණය කිරීමට මුල් වුණු පතාංජලී මහා ඍෂිවරයා කියන ආකාරයට සත්වයෙක් කියලා කියන්නේ ශරීරය, සිත සහ මේ දෙක එකට බැඳ තැබෙන ප‍්‍රාණ කියන ශක්තිය යන කොටස් තුනේ එකතුවකටයි. යෝග ආසනයක් කරනවා කියන්නේ අප සතු කායික ශක්තිය පාලනය කිරීම, වර්ධනය කිරීම, මානසික ශක්තිය පාලනය කිරීම හා වර්ධනය කිරීම, ප‍්‍රාණ ශක්තිය පාලනය කිරීම හා වර්ධනය කිරීමයි.
යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරන පුද්ගලයා පළමුව ශරීරය, සිත සහ ප‍්‍රාණ ශක්තිය යන මේ තුන පාලනය කරන්න  ඕනෑ. යෝග ආසන කියලා හඳුන්වන්නේ ක‍්‍රමයෙන් මේ දේ නිවැරැුදි ආකාරයට හසුරුවන්න, වර්ධනය කරන්න පුරුදු කරන එකයි.

වර්තමානයේ ඇති වී ඇති තත්ත්වය නම් යෝග හුදෙක් ව්‍යයාම පද්ධතියක් ලෙස ගැනෙනවා. එහෙත් යෝග සෙසු ව්‍යායාමවලින් වෙනස් වෙන්නේ අනෙක් හැම ව්‍යායාමයක් ම කිසියම් කෘත‍්‍රිම බවක් තිබීමත් යෝග ව්‍යායාම එසේ කෘත‍්‍රිම බවකින් තොරවීමත් යන සාධකය පදනම්වයි. ඒ කෘත‍්‍රිම බව එන්නේ මිනිසුන්ගේ ආශාවන් හා විවිධ සිතුම් පැතුම් සමග ඒවා සාධනය කරමින්, ඒ අවශ්‍යතාවට ශරීරය සකස් කර ගැනීමට උත්සාහ කිරීම මතයි. එහෙත් එවැනි කෘත‍්‍රිම බවක් යෝගවල නැහැ.
යෝග ශාස්ත‍්‍රයේ බහුතරයක් නොදකින ගුණාත්මක හරය අර්ජුන වික‍්‍රමාරච්චි මහතා තම විග‍්‍රහයට බඳුන් කළේ ඒ අයුරිනි.
ගසක නිර්මාතෘත්වයට මඟ සදන්නේ කුඩා බීජයකි. පොළොව මත තැන්පත් වෙන බීජය සෙමින් වර්ධනය වී ලා දල්ලක් සහිත පැළෑටියක් බවට පත්වෙයි. ඒ පැළෑටිය කාලයාගේ ඇවෑමෙන් බොහෝ දේ මිනිස් වග වෙත මෙන්ම මේ අසිරිමත් සොබා දහම වෙත ද දන්දෙන විසල් වෘක්‍ෂයක් බවට පත්වේ.
මල් පිපී ගෙඩි හටගන්නා ඵල පිරුණු මහා ගස අමිල සම්පතකි.

මිනිස් සිරුර ද ෙසෙල රාශියකින් නිර්මාණය වී පවතී.
මේ ෙසෙලවල ඇතිවීම, පැවතීම හා විනාශ වීම හෙවත් ඒවායේ ස්වභාවික ක‍්‍රියාවලියට අනෙකුත් ව්‍යායාම්වලින් යම් කෘත‍්‍රිම බලපෑමක් සිදුවෙනවා. ඒ බලපෑම මත බලහත්කාරය දකින්න ලැබෙනවා.
ඇතැම් ක‍්‍රීඩාවල ඒ ස්වභාවය තදින්ම දැකිය හැකියි. එය හරියට ස්ප‍්‍රින් එකක් තද කරගෙන ඉන්නවා වගෙයි. යෝග ව්‍යායාම කියන්නේ ස්ප‍්‍රින් එක අත්හැරියාම ඉස්සෙනවා වගේ ශරීරයේ ස්වභාවික ක‍්‍රියාකාරිත්වයට, සත්වයාගේ පැවැත්මට, ෙසෙලවල ස්වභාවයට අනුකූලව ගොඩනැගුණු ශාස්ත‍්‍රයක්.
යෝග ශාස්ත‍්‍රයේ දී යෝග ආසනයක කෘත‍්‍රිම බවක් දකින්න ලැබෙන්නෙ නෑ. ශරීරයේ ස්වභාවික රිද්මයට අනුකූලව යෝග ආසන සකස් වෙලා තියෙනවා. අප හිටගෙන හිටියයි කියලා කෘත‍්‍රිම බවක් නැහැ. ඇවිද්දා කියලා කෘත‍්‍රිම බවක් නැහැ. එහෙත් අනෙකුත් ව්‍යායාම්වලදී යම් කෘත‍්‍රිම බවක් පෙනෙනවා. සොබාදහමේ නියමයන්ට අයත් නැහැ. එය සිදුවන්නේ තද බවක් ඇතිවයි.
මම එය නිදසුනකින් පැහැදිලි කරන්නම්. වෘක්‍ෂ කරා හමන සුළඟක් දෙස බලන්න. වීර, පළු අදී වෘක්‍ෂ සුළඟට ප‍්‍රතිවිරුද්ධව තදින් සුළඟත් සමග ගැටෙනවා. ඒ ගැටීම තද බව නිසා ගහේ අතු කඩා වැටී වීසි වෙලා යනවා. නමුත් නැමෙනසුළු විලෝ ගහකට සුළං හමනවිට විලෝ වෘක්ෂය ඒ සුළඟට ඉඩ දෙනවා. මෘදු බවක් ගලාගෙන යන ශක්තියක් තියෙනවා. ඒ නිසා ඒ නැමෙනසුළු විලෝ ගස විනාශ වෙන්නේ නැහැ. සොබාදහම තුළ පැවැත්මේ නියමය මේ තද බව නෙමෙයි. සොබාදහම අපේක්‍ෂා කරන්නේ මෘදු බවයි. මෘදු බව ඇති තැන විනාශයක් නැහැ. සමස්ත සොබාදහම සහ සත්වයන්ගේ පැවැත්ම දෙස ඍෂිවරු බලලා ඒ පැවැත්ම තුළ වූ අන්තර්ගත සියල්ල එකතු කරලා ඉන් කැටිකරගත් සාරයෙන් තමයි යෝග ආසන නිර්මාණය කරලා තියෙන්නේ. සොබාදහමේ විවිධ හැඩතල, සත්වයින්ගේ හැසිරීම් රටා ඉරියව් ක‍්‍රියාකාරකම් එහි අන්තර්ගතයි.
අර්ජුන වික‍්‍රමාරච්චි මහතා නිදසුන් සහිතව එය නිර්වචනය කළේ ඒ අයුරිනි. නෙත් මානයට හසු නොවන, ප‍්‍රකෘති දෑසට දකින්නට අසීරු බොහෝ දේ අසිරිමත් සොබා දහමේ ඇත. ඒ අසිරිය විනිවිද දකින්නට තියුණු නැණක් අවැසි වන්නේය. ඒ තියුණු නැණ අසිරිමත් ජීවිතයකට ද මග කියයි.
යෝග ශාස්ත‍්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන ඊට ඇළුම් කරන පිරිසක් වෙත්නම්, අපේ අකුරු ගෙත්තමට එහා සීමාවේ සටහන්ව ඇති දෑ දැනගැනීමට අසන්නට රුචි කෙනෙක් වෙත්නම් 0777980578 සහ 0775856479 යන දුරකථන අංක අප සඳහන් කර තබන්නේ ද පාඨක ඔබෙන් ලද ඉල්ලීම අනුවමය.
ප‍්‍රවීණ යෝග උපදේශක අර්ජුන වික‍්‍රමාරච්චි
සටහන : සංජීවිකා සමරතුංග - ඡායාරූප : ඇලෙක්සැන්ඩර් බාලසූරිය
2013 ජූලි මස 21 14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

භවයක් පාසා හිමාලයේ බවුන් වඩන යෝගියෝ

(2 වන කොටස)
කප් සුවහස් කල් සංසාරයේ පිරූ පාරමිතාවක අනුහසින් බුද්ධත්වය සාක්ෂාත් කරනු උදෙසා බෝසතාණෝ සයවසක් මුළුල්ලේ දුෂ්කර ක‍්‍රියා කළහ. තිර අරමුණක පිහිටි සිත නොවෙනස්වම එම අරමුණෙහිම ඇලී පැවතුනේය. හිඳ සිටි ගස මුලට වැටෙන ඵලයක් වෙත්නම් එය පමණක් අනුභව කරමින් අරමුණ වෙනුවෙන්ම කැප වූයේය. අධිෂ්ඨානය අප අරමුණ කරා මෙහෙයවනු ලබයි.
ප‍්‍රවීණ යෝග උපදේශක
අර්ජුන වික‍්‍රමාරච්චි
හිමාලයේ සෙනසුන්හි වැඩ වෙසෙන සෘෂිවරුන් ස්වාමිවරුන් හා යෝගීන් බුදුබව ප‍්‍රාර්ථනා නොකරන බව සැබෑවය. එහෙත් අධ්‍යාත්මය සුවපත් කරන අරමුණක් වෙනුවෙන්ම කැපවූ ඒ උත්තමයාණෝ ද ඉතා සරල ජීවන පැවැත්මකට හුරුවී සිටිති.
රිෂිකේෂිහි තපෝවන් ආශ‍්‍රමයේ නැවතුණු අර්ජුන ඒ දිවි පැවැත්ම සියැසින්ම දුටුවේය. යෝග ශාස්ත‍්‍රය ඔස්සේ අධ්‍යාත්මික අභිවෘද්ධිය අපේක්ෂාවෙන් යුරෝපීය ජාතිකයන් දශක ගණනාවක් තිස්සේම ඉන්දියාවේ හිමාලය වෙත පැමිණෙති. පිරිමින් මෙන්ම ස්ත‍්‍රීන්ද මෙකී අධ්‍යාත්මික සුවය අරමුණු කරගෙන හිමාලය වෙත පැමිණෙති. එසේ පැමිණෙන්නෝද යෝගීන්ගේ සරල ජීවන රටාවට අනුගතව තම අරමුණ සඵල කරගැනීමට වෙහෙසෙති.
සෘෂිවරුන්, ස්වාමිවරුන් මෙන්ම යෝගීන්ද සිරුර වසාගැනීමට භාවිත කරන්නේ ඉතා කෙටි රෙදි කඩක් පමණි. සාමාන්‍යයෙන් එය අමුඩ ලේන්සුවකට සමාන වෙයි. ඒ උත්තමයන්ගේ භෞතික අවශ්‍යතා ඉතා සීමිතය. ඔවුන් මාංශමය ආහාර වලින් සම්පූර්ණයෙන්ම ඈත්වී සිටියි. කිරි, ධාන්‍ය පිටි වලින් සකස් කළ ආහාර හා එළවළු වලින් ඒ ආහාර වේල සමන්විතය. දවසකට ආහාර ගන්නේ එක් වේලකි. එයද ඉතා ස්වල්පයක් වශයෙනි. එයට අමතරව අවශ්‍ය නම් පලතුරු යුෂ පානය කළ හැකිය. එහෙත් එයද ඉතාමත් ස්වල්පයකි. බත් ටිකක් සමග මුදවපු කිරි ස්වල්පයක් පමණක් දවසට එක් වේලක් ආහාර වශයෙන් ගෙන අර්ජුනද හිමාලයේ සෙනසුනක් මත යෝග ශාස්ත‍්‍රය වෙනුවෙන් සිත මෙහෙයවූයේය.
යෝගීන් සිටින මෙම ප‍්‍රදේශ පාරිශුද්ධත්වයට පත් භූමින් ලෙස පිළිගැනේ. උම්බලකඩ කෑල්ලක් තරම්වත් මාංශමය ආහාර එහි නැත. එමෙන්ම මත්පැන් හා ගණිකාවන්ගෙන්ද ඒ ශුද්ධ භූමිය වියුක්තය. මුස්ලිම් ජනතාව ජීවත් නොවන එම ශුද්ධ භූමිය හුදෙක් වැඩි වශයෙන් හින්දුන්ගේ වාසස්ථානය බවට පත්ව ඇත.
1970 දශකයේ සිටම යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කිරීමේ අරමුණ පෙරදැරිව යුරෝපීය ජාතිකයන් මේ ශුද්ධ භූමියට පැමිණීම නිසා මෙහි වැඩ වෙසෙන යෝගීන්ට ඉංග‍්‍රීසි භාෂාව මැනවින් හැසිරවීමේ හැකියාව පවතී. එහෙයින් යෝග ශාස්ත‍්‍රය මුලකුරු සොයා හිමාලය වෙත යන්නන්ට ඉංග‍්‍රීසි භාෂාව දැන සිටීමෙන් යෝගීන් සමග අදහස් හුවමාරු කරගත හැකිය.

ඉතාමත් නිහඬ වුතයකට අනුව නිශ්ශබ්දතාවෙන් පිරි ජීවිත ගත කරන යෝගීන් කතා කරන්නේ අවශ්‍යම දෙයට අත්‍යවශ්‍යම වචන යොදාගත් රටාවක් ඔස්සේය.
යෝග ශාස්ත‍්‍රය හදාරන්නට ගිය අර්ජුනට වරක් සෘෂිවරයෙක් මුණගැසුණේය. සැබැවින්ම හිමාල වන අරණේදී සෘෂිවරයකුගේ මුණගැසීම යනු අහම්බයකි. තවත් අතකින් විශ්මයකි. ඒ සෘෂිවරු ඒ තරමටම අරමුණ ඔස්සේ හිත මෙහෙයවමින් හුදෙකලා ජීවිතයක් ගත කරන නිසාවෙන්ය.
එසේ මුණගැසුණත් තත්පර ගණනාවක් හැරෙන්නට සෘෂිවරුන් බොහෝවේලා මනුෂ්‍ය ඇසුරේ රැඳී සිටින්නේද නැත.
සෘෂිවරයාණෙනි ඔබේ නම කුමක්දැයි යන ප‍්‍රශ්නය පවා අර්ජුනට අසන්නට ඉඩ හසරක් නොලැබුණේ එහෙයිනි.
අර්ජුන තමා අබිමුව සිටින සෘෂිවරයාගෙන් ප‍්‍රශ්න කිහිපයක්ම විචාළේය. සෘෂිවරයා ඒ ප‍්‍රශ්න සියල්ලම එකට කැටිකොට ගනිමින් කෙටි උත්තර කිහිපයක් ලබාදුන්නේය. එහෙත් ඒ පිළිතුරු සෘජුය. නිරවුල්ය. තේරුම් ගැනීමට පහසුය. උන්වහන්සේලාගේ පෘථූල දැනුම ඒ පිලිවදන් ඔස්සේ මැනවින් පැහැදිලිවෙයි.
සෘෂිවරුන්ගේ විශ්වාසයේ හැටියට යෝග ශාස්ත‍්‍රයේ අධ්‍යාත්මික සුවය සොයා හිමාලය වෙත පැමිණෙන්නේ පෙර අත්භවයන්හි එහි සිටිමින් යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ අයමය. සසර පුරුද්ද අනුව යමින් ඔවුහු නැවත එහි පැමිණෙති. හිමාලය වෙත යෝග ශාස්ත‍්‍රය හදාරණ රිසින් යන අයට ඒ උතුමාණන් වහන්සේලා ආමන්ත‍්‍රණය කරන්නේද වෙනත් නම් වලිනි. ඒ වෙනත් නම සෘෂිවරුන්ගේ පිළිගැනීමේ හැටියට ඔවුන්ගේ පෙර අත්භවයේ නාමයයි.

ශ්‍රී රාමා මහේෂ් ඍෂිතුමා
විඥානවාදය ගරු නොකරන, විඥානවාදය ප‍්‍රතික්ෂේප කරන භෞතිකවාදීන්ට අනුව මෙකී විශ්වාස හා පිළිගැනීම් මිථ්‍යාවක්ය. පදනම් විරහිතය යන තර්කය මතුකිරීම ස්වභාවිකය. එහෙත් මනුෂ්‍ය සිත දියුණුවේ උච්චතම සංධිෂ්ථාන කරා මෙහෙයවූ විට එහි ශක්තිය ස්වාභාවිකත්වය ඉක්මවා යන තත්ත්වයට පත්වෙයි. සිත දියුණු කරමින් නැගෙන හිරු මඬලේ ප‍්‍රභාවත් ශක්තියත් සමග දෙවියන් කොට සැලකූ සූර්ය දෙවිඳුන්ගේ ශක්තිය උරාගනිමින් ඒ ශක්තියද ඇතුළු විශ්ව ශක්තිය තමා වෙතට කැටිකොට ගන්නා යෝගීන් එම ජීවමය ශක්තියේ අනුහසින් පාන පෙළහර තමන් සියැසින් දුටු බව අර්ජුන පවසයි.
හිමෙන් වැසුණු හිමාලයේ හිම කැටිති දියවී දෝර ගලා යන දිය දහරෙන් උදෑසන 6.00 පමණ වෙද්දී ස්නානය කොට පිරිසුදු වන යෝගීන් ස්වාමිවරුන් හා සෘෂිවරුන් අපූරු දේවත්වයක් උරුමකරගත් අසිරිමත් සොබා දහමත් සමඟ තම ජීවිතවල අලූත් පිටුවක් පෙරළයි. පැය ගණන් භාවනාවට සමවැදෙන මෙම භාවනා යෝගීහු වසර ගණනක් නොසැලී නොසෙල්වී භාවනාමය ධ්‍යානයන්ට සමවැදී සිටි බවට කියවන්නට ලැබෙන කතාන්දර හැබැවින්ම ප‍්‍රබන්ධ නොව සැබෑවක් බව පිළිගන්නේ හිමාලය වන අරණේ එකී ශාස්ත‍්‍රය සොයා ගිය අයමය. මක්නිසාදයත් ඒ ඇතැම් කතා වස්තූන් හුදෙක් ප‍්‍රබන්ධදැයි සිතෙන තරමට අද්භූත රසයෙන් පිරී පවතින හෙයිනි.
අර්ජුනට ශ්‍රී රාමා මහේෂ් ඍෂිතුමා නම් යෝගී ඇඳුරාණන්ගේ උතුම් මග පෙන්වීම ලැබුණේය.
දරුවා ඔබ මෙතන ඉගෙන ගන්නවද? වෙන ආශ‍්‍රමයක ඉගෙන ගන්නවද?
නවතින තැන එතැන යැයි අර්ජුන තීරණය කළේය.
ඇඳුරු ගුරු සබඳතාව වදන් ඔස්සේ ගලා නොගියත් කැඩපතකින් බලා සිටියාක් මෙන් තම ශිෂ්‍යයන් කරන දේ කියන දේ පමණක් නොව සිතන දේද ගුරු ඇඳුරාණෝ දනිති. මුණනොගැසුණත් එවන් පෙනීමක් සහිත සවිඥානික ඥානයකින් යෝග ශාස්ත‍්‍රයේ පරතෙර සොයා යන ඇඳුරන්ගේ සිරස පරිපූර්ණය. විශ්මයක් ලෙස හැඟුණත් එය සිත දියුණු කිරීමේ තවත් ඵලයකි.
හින්දු ග‍්‍රන්ථවලට අනුව මිනිසාගේ ජීවිත කාලය විවිධ කාල වකවානුවලට බෙදා ඇත. එයින් එක් කාල පරිච්ඡේදයක් වන්නේ ප‍්‍රථම වර්ෂ 10 අයත් වන බාල්යම් කාලයයි. වසර 12 සිට 25 දක්වා වූ කාලය කව්මාරම් නොහොත් නව යොවුන්විය ලෙස සඳහන් වේ. මෙය සදාකාලික නොහොත් කුව්රා නම් වේ. රුසියානු විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට අනුව වසර 16 ක්වූ අවධිය උපරිම හැකියාව භාවිත කළ හැකි කාලය බැවින් ඊට යාන්ත‍්‍රික හෝ විද්‍යුත් ශක්තියක් යෙදිය හැකි නම් වසර 10,000 පමණ ජීවත් විය හැකිය.
ඉන්දීය පුරාණයට අනුව පැරැුණි ගුප්ත ලේඛනවල සඳහන් වන්නේ ක‍්‍රීක යුගයේ වසර 10,000 ආයු වැළදු මිනිසුන් ජීවත්වූ බවය. කෙසේ වුවත් මෙවන් ආකාරයෙන් සදාකාලික තත්ත්වයකට ආවත් ඒ සියල්ලෝම ක‍්‍රමානුකූලව මරණය කරා ගමන් කරති.
සමහර හින්දු ග‍්‍රන්ථවල සඳහන් වන්නේ දේවත්වයට පත් දරුවන් සිටින බවය. එය එසේ විය හැකි බවට සාධකය වන්නේ වසර 16 ක් වූ වයසට ළඟාවන තුරු දරුවන් සාමාන්‍යයෙන් ස්වභාවික මරණය කරා ගමන් නොකරන බවට වන සාධකයයි. බොහෝ විට එවැන්නන් තුළ මරණය සිදුවුවහොත් ඊට හේතුවන්නේ බාහිර බලපෑමක් හෝ මන්දපෝෂණ තත්ත්වයක් පමණි.
මෙය තහවුරු කිරීම සඳහා වූ නිර්ණායකයක් ලෙස ගත හැක්කේ සංඛ්‍යාත්මකව මරණය සිදුවීමේ ප‍්‍රතිශතය වයස අවුරුදු 16 ට වඩා වැඩිහිටි සංඛ්‍යාව අතර වැඩි බවය. මෙය නිරීක්ෂණයට ලක්කළ අපේ මුතුන් මිත්තෝ ජනකථා නිර්මාණයේදී බොහෝ විට කථාවේ සඳහන් කුමරියක ඇගේ වසර 16 වැනි උපන්දිනයේදී මිය යන බව සඳහන් කළහ. වර්තමාන වෛද්‍ය විද්‍යාවේ සොයාගැනීම් අනුව වසර 16 සම්පූර්ණ වන විට මොළය අභ්‍යන්තරයේ ඇති තෙවැනි ඇස වර්ධනයට පටන් ගනී. එහෙත් මෙය අදද විද්‍යාවට කුමක්දැයි විශ්ලේෂණය කිරීමට නොහැකි වී ඇත.
ලොව රටවල් අතරින් ඉන්දියාවේ පමණකි විශාල ලෙස පැරැණි ස්මරණතිත‍්‍රාන්ත (සාමාන්‍ය ධාරණ ශක්තිය ඉක්මවා යාම පිළිබඳව) ග‍්‍රන්ථ රචනා වී ඇත්තේ.
එම ග‍්‍රන්ථ අතර ඉතා විශාල වශයෙන් ඇත්තේ මිනිස් බව හඳුනා ගැනීමට අදාළ කරුණු සඳහන් ලේඛනය. යෝග විද්‍යාවද ඒ තුළ සඳහන් උප ප‍්‍රභේදයකි.
යෝග විද්‍යාවේ විවිධ න්‍යායන් රාශියක් ඇති නමුත් බොහෝ ඒවා ලිඛිතව සඳහන් නොවේ. සමහර විශ්ලේෂකයන්ට අනුව මෙම න්‍යායන් වෙතින් වසර දහස් ගණනක් ජීවත්වීම පිළිබඳව රහස් දැක්වේ. ඊට අමතරව ඔවුන් දක්වන්නේ වසර දහස් ගණනක් ජීවත් වූ යෝගීන් සිටි බවය. වර්තමාන විද්‍යාවට තවත් දශක ගණනක් යනතුරුවත් එම න්‍යායන් විශ්ලේෂණය කිරීමට හැකිවේ යැයි සිතීම උගහටය.
ප‍්‍රවීණ යෝග උපදේශක අර්ජුන වික‍්‍රමාරච්චි

සටහන සංජීවිකා සමරතුංග / ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය

2013 ජූලි මස 14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

හුස්‌ම ආහාරය කර ගත් මිනිසෙක්‌...

මාස පහකටම කෑවේ වේල් හතරයි බිරිය සතියකට කන්නේ වේල් තුනයි
ලෝ කයේ සිටින සෑම පුද්ගලයන් අටදෙනකුගෙන් එක්‌ අයෙකුම අයත් වන්නේ "බඩගිනි හමුදාවටය". මිලියන 870 ක ජනතාවක්‌ සාගින්නේ දැවෙමින් අවදි වී සාගින්නේ ම නින්දට යති. ලෝක ජනගහනයෙන් බිලියන 1.1 ක ප්‍රමාණයක්‌ දෛනිකව උපයන්නේ ඇ. ඩොලර් එකකට වඩා අඩු මුදලකි. ආහාරවල මිල ගණන් අධික වීම හේතුවෙන් ඔවුන්ගේ කෑම වේල වී ඇත්තේ බඩගින්නට මොනවා හරි යන්නය. එක්‌ පැත්තකින් එසේ තිබෙන අතර අධි පෝෂණය හේතුවෙන් පීඩා විඳින පුද්ගලයන්ගේ ගණන ද ඉහළ යමින් පවතී. කෑමට යමක්‌ නොමැති තැන පාන් ගෙඩියක්‌ සොරකම් කිරීමේ වරදට ජෝන් වැල්a ජෝන් සිරගත වන්නේ "ලේ මිසරාබ්" නවකතාවේය. සිරගත වූ ජෝන් වැල් ජෝන් එළියට එන විට ප්‍රංශ විප්ලවය ආරම්භ වී තිබිණි. එතැනදී විප්ලවකරුවන් අමතා මාරියෝ ඇන්ටෝනියෝ බිසව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ පාන් නැත්නම් කේක්‌ කාපල්ලා කියාය. ඒ සාගින්න හා අධි කෑම අතර පරතරයයි.

මිනිසකුට ආහාර නොමැතිව ජීවත් විය නොහැක. ඒ සනාතන සත්‍යයක්‌ය. ඒත් ප්‍රශ්නය වනුයේ අප කෑම ගන්නේ අපට අවශ්‍ය තරමට ද?

ශ්‍රී ලාංකිකයකු වන කර්බ්ලි ඩී. ලැනරෝල් මේ ප්‍රශ්නයට පිළිතුරුදී ලෝක ප්‍රසිද්ධ වී සිටියි. ඔහු මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නැෂනල් ජෝග්‍රැපිsක්‌, සන්, ඩේලිමේල් වැනි ලොව ප්‍රමුඛ මාධ්‍ය හරහාය. එම මාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ, එක දිගටම වසර ගණනාවක්‌ ආහාර නොගෙන සිටින ශ්‍රී ලාංකිකයකු සිටින බවය. බටහිර මාධ්‍ය විසින් කර්බ්ලි ගැන කතා කරන ලද්දේ, ඔහුගේ කතාව අසමින් පමණක්‌ නොවේ. නිරීක්‍ෂණ තත්ත්වයන්a යටතේ ඔහු සමග ඔහුගේ පිළිවෙත අත්හදා බලමිනි. 

කර්බ්ලි වෙත ලෝකය පුරාම දෑස්‌ යොමු වී තිබුණත් ඔහු වාසය කරන ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු ඒ ගැන දැන සිටියේවත් නැත. ලෝක මාධ්‍යයන් විසින් කතා කරන ලද කර්බ්ලි සොයාගෙන අපි ගියේ ඔහුගේ ප්‍රයාමය ගැන කතා කිරීමටය.

මනරම් උස්‌ බිමක, පළල් මිදුලක්‌ සහිතව කර්බ්ලිගේ නිවස ඉදිකර තිබිණි. එය නවීන පන්නයේ නිවසකි. සිහින් සිරුරක්‌ සහිත කර්බ්ලි සරමකින් හා ටීෂර්ටයකින් සැරසී අපි පිළිගත්තේය.

ඔහු සිය කතාව අප වෙත කියන්නේ ඉන්පසුවය.



මීට වසර පහකට පෙර ඇත්තටම මම අලුත් අත්දැකීමක්‌ ලබා ගත්තා. මම ඉස්‌සර නාස්‌තිකාරයෙක්‌. මගේ අම්මාට තාත්තාට සාමාන්‍යයෙන් සල්ලි තියෙනවා. අපි ජීවත් වුණේ වත්තල. මම ඩී. එස්‌. සේනානායක විද්‍යාලයේ හා ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ඊට පසු මම ඉගෙන ගන්න එංගලන්තයට ගියා. එතැනදී මම හැසිරුණේ ටිකක්‌ නරක විදිහට. කොල්ලො කරන නරක වැඩ මමත් කළා. එහෙම ටික කලක්‌ ඉන්න කොට මට අමුතු අදහස්‌ වගේ ආවා. මගේ දෙමව්පියන්ගේ පසුබිම ක්‍රිස්‌තියානි. මට වෙනස්‌ වෙන්න ඕනේ වුණා. ඒ අනුව මම ඡේසුස්‌ වහන්සේ කියන්නේ මොකක්‌ද කියලා බැලුවා. මම ඒවා ඉගෙන ගත්තේ බයිබලය කියවලා. එතැනදී මම දැක්‌කා නිරාහාරව ඉන්න එක. ඡේසුස්‌ වහන්සේ දවස්‌ හතළිහක්‌ නිරාහාරව හිටියා කියලා තිබුණා. ඒ වගේම බලාගෙන ගියාම හැම ආගමකම නිරාහාරව ඉන්න එක තියෙනවා. මුස්‌ලිම් ආගමේත් ඒක තියෙනවා. යුදෙව් ආගමේත් ඒක තියෙනවා. යුදෙව් පොතේ තියෙන්නේම කෑම ගැන. ඊට පස්‌සේ මම දැක්‌කා නිරාහාරව ඉන්න එකෙන් ආධ්‍යාත්මික පැත්තට ගැඹුරු ලෙස යන්න පුළුවන් කියලා. ඒ කාලේ මම මත්ද්‍රව්‍යවලට යම් තරමකට ඇබ්බැහි වෙලා හිටියා. ගොඩක්‌ ප්‍රශ්න තිබ්බා. ඒ ප්‍රශ්නවලින් මිදෙන්න නිරාහාරව ඉන්න ඕනේ කියලා මට හිතුණා. හැම ආගමේම නිරාහාරව ඉන්න එක ගැන කියලා තියෙනවනං, ඒකේ අගය කියලා තියෙනවා නං අපි ඒක කරමු. කියන අදහස මට ආවා. බුදුරජාණන් වහන්සේ වසර හයක්‌ම ගහෙන් වැටෙන දේ විතරයි කෑමට ගත්තේ.

හැබැයි මට කවුරුත් කිව්වේ නැහැ. කොහොමද නිරාහාරව ඉන්නේ කියලා. දොස්‌තරලා හිටියෙත් නැහැ.

සිය කතාව කීම කර්ඩ්ලි ආරම්භ කර තිබේ. ඔහු සන්සුන්ව භාවනා කරන ඉරියව්වෙන් හිඳ කතාව කියමින් සිටියි. අතරමැදදී පැහැදිලි කිරීම් කර ගැනීම සඳහා අපෙන් කර්බ්ලි වෙත ප්‍රශ්නද යොමු වෙයි.

ඔබට ප්‍රශ්න රාශියක්‌ තිබුණ බව කිව්වා. ආගමික ග්‍රන්ථවල සහනය සඳහා විවිධ දේ සඳහන් වෙනවා. නමුත් ඔබ විසින් ගැටලු සඳහා විසඳුම ලෙස ගත්තේ නිරාහාරව සිටීම යන තැනයි. එතැනින් විසඳුම් සොයන්නට ගියේ 

ඇයි.?

හැම ආගමකම තියෙන්නේ තණ්‌හාව ආශාව නිසා අපි කරගන්න විනාශය ගැනයි. මත්ද්‍රව්‍ය ගන්න එකයි, ගැහැනු පිටිපස්‌සේ යන එකයි, තවත් කෙනෙක්‌ චොකලට්‌වලට ඇබ්බැහි වෙලා චොකලට්‌ කන එකයි, ඔක්‌කොම ගත්තොත් වැඩි ආශාව. අපිට ලෙහෙසියෙන්ම නඩත්තු කරන්න පුළුවන් දෙයක්‌ තමයි නිරාහාරව ඉන්න එක. ඒ වගේම ඒකෙන් ආධ්‍යාත්මික ජීවිතය වැඩෙනවා. එතකොට මානසික සුවය ඇතිවෙනවා. එතකොට ලෞකික බැඳීම් අඩු වෙනවා. මේක මට දැනුණා. 

මම කියන්නේ ඕනම - ආගමක කෙනකුට මේක කරන්න පුළුවන්. මම හාමුදුරු නමකගෙන් මෛත්‍රීs්‍ර භාවනාව ඉගෙන ගන්නවා. එතකොට අප තුළ අපට අවශ්‍ය දේ වැඩෙනවා. එතකොට අප පිටතින් ගත යුත්තේ අඩුවෙන්. ආධ්‍යාත්මික ශක්‌තිය උපයා ගත්ත කෙනාට අවශ්‍ය දේ ඇතුළෙන් ලැබෙන නිසා පිටතින් ගන්න අවශ්‍ය දේ අඩුයි. ඒ වගේම ආහාර අඩු කරන විටම අභ්‍යන්තර බලය වැඩෙනවා. කෑම කියන දේ වැදගත්ම දෙයක්‌ නොවෙයි. වර්තමානයේ ප්‍රශ්න ගොඩක්‌ ඇති කරලා තියෙන්නේ කෑම. ලෙඩ රෝග රාශියකට මුල කෑම. මගේ කටයුත්ත පටන් ගත්තේ එතැනින්. ඇමරිකානු මාධ්‍ය විසින් මාව තෝරාගෙන ප්‍රශ්න කරන්න පටන් ගත්තේ ඒ නිසා. මම භාවනා කරන කොට පැය දෙක තුනක්‌ වුණත් කන්නේ නැතුව ඉන්නවා. මම මුලදී දවස්‌ දහයක්‌ නොකා හිටියා. පස්‌සේ ඒක දවස්‌ හතළිහක්‌ වුණා. අවුරුද්දෙන් අවුරුද්ද මේක වැඩි වුණා. සමහර වෙලාවට එක අවුරුද්දේම දවස්‌ හතළිහක්‌ නොකා ඉන්නවා. ඊට පස්‌සේ මාස දෙක තුනක්‌ කනවා. ආයෙත් දවස්‌ අසූවක්‌ නිරාහාරව ඉන්නවා. ආයෙත් කනවා. මේ විදිහට තමයි පටන් ගත්තේ. ගිය අවුරුද්දේ මම මාස පහකට, හතර පාරයි කෑවේ.

ඔබ මාස පහකට වේල් හතරයි ආහාර අරගෙන තියෙන්නේ. නමුත් වේල් දෙක තුනක්‌ නොකා ඉන්න කොට ම සාමාන්‍ය මිනිහෙක්‌ගේ ඇඟ පණ නැති වෙනවා දුර්වල වෙනවා. 

අපිට ආහාර අත්හැරලා විතරක්‌ ඉන්න බැහැ. අපේ ශරීරයේ චක්‍ර විවෘත කරගනිමින් ක්‍රියාවලියකත් අපි යෙදෙන්න ඕනේ. අපි චක්‍ර ඇර ගත්තොත් 10% ක්‌ විතරයි එළියෙන් ආහාර ගන්න ඕනේ. චක්‍ර ඇරගන්නේ නැත්නම් එළියෙන් ආහාර ගන්න ඕනේ. මේක හුස්‌ම මගින් වෙන ක්‍රියාවලියක්‌. චක්‍ර විවෘත වුණාම තමයි ඒක වෙන්නේ. එතකොට අපට අවශ්‍ය ආහාර අපේ ශරීරයේම නිපදවෙනවා. හරියට ගසක වගේ. කාර් එකේ පෙට්‍රල් ටැංකියේ තෙල් තියෙනවා නම් තව ගහන්නේ මොකටද? ඒ වගේ දෙයක්‌ තමයි මෙතැන වෙන්නේ. එළවළුමය කෑම ගන්න අයට වෙජිටේරියන් කියනවා වගේ. මේකට කියන්නේ බිතේරියන් කියලා. ඒ කියන්නේ හුස්‌මෙන් ආහාර නිපදවාගෙන ජීවත් වෙනවා කියන එකයි. හැබැයි අවශ්‍ය සියල්ලම හුස්‌ම මගින්, භාවනාව මගින් පමණක්‌ම නිපදවා ගන්න බැහැ. ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නේ නිකම්ම නිරාහාරව ඉන්න කොට ඇඟට අමාරුයි. ඒත් භාවනාවෙන් ශක්‌තිය නිපදවා ගන්න කොට ඇඟට අමාරුවක්‌ දැනෙන්නේ නැහැ. දැනෙන්නේ සහනයක්‌. මම දුවනවා. සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ඒකට මගේ කෑම රටාව ප්‍රශ්නයක්‌ වෙලා නැහැ. නැෂනල් ජෝග්‍රොපික්‌ නාලිකාව මාගේ ක්‍රමය ගැන වැඩසටහනක්‌ කරන්නේ එතැනදී. ඒක ලෝකයේ ප්‍රසිද්ධ නාලිකාවක්‌. මාව තෝරා ගත්ත වැඩසටහන ලෝකයේ වැඩිම පිරිසක්‌ නරඹන එකක්‌. එතැනදී ඒ අය නිකම්ම මම කියන එක අහගෙන හිටියේ නැහැ. මාව පරීක්‍ෂා කළා. මගේ ක්‍රමවේදය අත්හදා බලන්නට එක්‌ අයෙක්‌ පුරුදු කරන්න කිව්වා. මම ඒ රටවලදී මගේ වැඩසටහන කරන්නේ ක්‍රිස්‌තියානි ආගම මුල් කරගෙන. අනික්‌ තැන්වලදී කරන්නේ ඒ ඒ ආගම මුල් කරගෙන මෙතැනදී ආගමක්‌ නැහැ. ඒත් ආගම්වලින් කියලා තියෙන දෙය අරගෙන කළොත් මේකට මිනිස්‌සු ලෙහෙසියෙන්ම ගන්න පුළුවන්. දැන් මම මගේ වැඩසටහනට විශාල පිරිසක්‌ අරගෙන ඉන්නවා. මගේ බිරිඳත් මෙම වැඩසටහන කළා. ඇය සාමාන්‍යයෙන් සතියකට ගන්නේ උදෑසන ආහාර වේල් දෙකක්‌ පමණ විතරයි. නෙට්‌ජියෝ එකේ වැඩසටහන කරද්දී මම මැරතන් භාගයක දුර දිව්වා. ඒ නිසා මෙතැනදී නිරෝගී භාවය ගැන සැක හිතන්න එපා. අපේ ඇඟේ තියෙන ශක්‌ති මධ්‍යස්‌ථාන විවෘත කරලයි කෑම කන එක අඩු කරන්නේ. එතැනින් නිරෝගීකම ඇති වෙනවා. කෑම කාලා කාලා පරක්‌කු වෙලා කන අයට හැදෙන ගැස්‌ට්‍රයිටිස් මේකෙන් සනීප වෙනවා. ඇත්තටම මම කියන්නේ මේක මම කරන හපන්කමක්‌ නොවෙයි. මේක ඕනෑම මිනිසකුට කරන්න පුළුවන්. මම දින හතක වැඩසටහනක්‌ කරන්නේ ඒක පුරුදු කරන්නයි.

ඊළඟට ලෝකයා මුහුණ දෙන්නේ ආහාර අර්බුදයකට. එතැනදී අපි වවලා වවලා ඒක ජය ගන්නවා කියන එක නෙමෙයි, කරන්න ඕනේ. අපේ කෑම පාලනය කරන එකයි. කන ප්‍රමාණය අඩු කරන එකයි විසඳුම. කෑම නොකනවා කියන අය ලෝකයේ ඉන්නවා. මම එහෙම කරන්නේ නැහැ. මම කෑම ටිකක්‌ කනවා. මගේ විශේෂත්වය, වුවමනාව තියෙන කෙනකුට මේක පුරුදු කරන්නත් මට පුළුවන්.

කර්බ්ලිගේ හඬ ප්‍රාණවත්ය. ඔහුගේ ඇවතුම් පැවතුම් ද සාමාන්‍යය. ඔහුගේ නිවසට අප යන විටත් ඔහුගේ භාවනා වැඩසටහනට සහභාගි වන්නට පැමිණි පිරිසක්‌ සිටියහ. අපි කර්බ්ලිගේ වැඩකටයුතුවලට ඉඩදී පිටවූවෙමු. ඔහුගේ නිවස පිහිටි පාරෙන් එළියට බසින විට එළිමහන් අවන්හලකි. මනරම් ලෙස තනා ඇති එහි මුහුණ වැසෙන තරමට පිඟන්වලට කෑම බෙදාගෙන තලු මරන මිනිසුන්ය. කෑමට ඔවුන් බැඳ තිබෙන ප්‍රේමය කොතරම් ද කිවහොත් කර්බ්ලි වැන්නන් ඔවුනට ආශ්චර්යක්‌ය. පාරේ අනෙක්‌ පසින් ව්‍යායාම මංතීරුවකි. කෑම කා ස්‌ථුල භාවයට පත් වූ පිරිස්‌ ශරීරයේ සංචිත වූ පෝෂණ ඉවත් කර ගැනීමට වෙර දරති.

ඔසිත අත්තනායක
2013 ුලි  14 ඉරිදා දිවයින

හිමාල වනයේ යෝගීන් ඇසුරේ

(1 වන කොටස)
තුරු මුදුන් මතින් සඳඑළිය ගලයි. නිල් පැහැයෙන් නෙතට හසුවන දැවැන්ත බඳ සහිත වනස්පතින්ගෙන් ගහන වූ වන අරණට පෙම් නොකර සිටිය හැක්කේ අසිරිමත් සොබා දහම කෙරේ අල්පමාත‍්‍රයකවත් සෙනෙහෙවන්තකමක් නොදක්වන්නෙකුටම පමණි. සොබාදහම නම් අම්මාගේ කුස මඬලින් ජාතක වූ සොබා සම්පත් නම් අසිරිමත් දරුවන් රැසකගේ නිත්‍ය නවාතැන බවට පත්වූ ඉන්දියාවේ හිමාලය වන අරණ බවුන් වඩන යෝගීන්ට, ස්වාමිවරුන්ට සෘෂිවරුන්ට මහා කෙම්බිමකි.


යෝගී ආසන
සැතපුම් සිය දහස් ගණනක් දුර ගෙවා අර්ජුන වික‍්‍රමාරච්චි ඒ කෙම්බිම සොයා ගියේය. සිතත් සිරුරත් එක්තැන් කළ තාරුණ්‍යයේ ජවය සමගින් අර්ජුන සොයා ගියේ ලෝකෝත්තර වූ අධ්‍යාත්මික සුවයකට මග කියන සැනසුමේ මාවතකි. ගමන කෙළවර නැතත් ආ දුරේ අනුහසින් ඔහු සන්තක කරගත් ඵල බොහෝ වෙත්.
යෝග ශාස්ත‍්‍රය හැදෑරීමේ අරමුණින් ඔහු හිමාලයේ වෙසෙන යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරන යෝගාවචරයන් සෘෂිවරුන් සොයා ගියේය. හුදෙක් ශාරීරික ව්‍යායාමය හා සුවය පිණිසම නොව අධ්‍යාත්මික සුවය අරමුණු කරගෙන එකී ශාස්ත‍්‍රයේ නිම් වළලූ පුළුල් කරගැනීමේ පරමාර්ථය අරභයා ඔහු ඒ දුෂ්කර ගමනේ යෙදුණේය. සැබැවින්ම යෝග ශාස්ත‍්‍රය හදාරන්නකුගේ අපේක්ෂාව විය යුත්තේද එකී ශාරීරික සුවතාව නොව ආධ්‍යාත්මිකව ලබාගන්නා ශක්තියයි. එකී අධ්‍යාත්මික දියුණුව පරමාර්ථ කොටගෙන යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරනවිට එකී අතුරු ඵලයක් ලෙස නිරායාසයෙන්ම කායික නිරෝගී බව සහ සුන්දරත්වය දායාද වෙයි.
කුඩා දරුවකුව සිටි සන්දියේ පටන් අර්ජුන භාවනාවට යොමුවිය. වයස අවුරුදු දහසය සම්පූර්ණ වන විට යෝග ශාස්ත‍්‍රය හැදෑරීමට ඔහු උත්සුක වූයේය. එහෙත් නිවැරදි අවබෝධයක් ලබාගැනීම උදෙසා යෝග ශාස්ත‍්‍රයට අදාළව කියැවිය යුතු පත පොත පවා එකල දුලබ විය. මග පෙන්වන ඇදුරන් සොයා යාමද ඒ තරමටම දුෂ්කර කාර්යයක් විය.
කොස්තා නැමැති ලේඛකයකු විසින් රචිත යෝග ශාස්ත‍්‍රය පිළිබඳව ලියැවුණු පොතක් ඔහුට හමුවුණේ මේ අතරතුරදීය. එහෙත් ඔහුගේ සිත ඉල්ලා සිටි දැනුමේ වපසරිය එකී ග‍්‍රන්ථයේ පිටු හෝ පරිච්ඡේද තුළම ලඝු කළ නොහැකි තරමට විසල් පරාසයක පිහිටියේය.
අත්නොහළ උත්සාහයෙන් අරමුණ හඹා ගිය අර්ජුනට දොළොස් වසරක් වනගතව බවුන් වඩා ගම්මානයක් කෙළවර කුඩා කුටියක වැඩ සිටි කුරුණෑගල රතනසාර හිමියන් හමුවූයේය.
”විනාඩි 45 ක්වත් එක ඉරියව්වක ඉන්න බැරි නම් සාර්ථකත්වයට පත්වෙන්නේ කොහොමද දරුවෝ” උන්වහන්සේගේ මේ වචන අර්ජුනගේ සිත් ගැඹුරටම කිඳා බැස්සේය. භාවනාමය ඉරියව්වක තත්ත්පර ගණනාවක් දැහැන්ගතවෙන්නට බැරි හේතුව අර්ජුන කල්පනා කළේය. යෝග ආසන තුළින් ශරීරය වේදනාවකින් තොරව නිශ්චලව තබා ගනිමින් මානසික ඒකාග‍්‍රතාවය ඇතිකර ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසෙන බව ඔහු තේරුම් ගත්තේය. නොනවත්වාම යෝග පුහුණුවේ යෙදෙන්නට කුරුණෑගල රතනසාර හිමියන්ගේ මගපෙන්වීම එදා අර්ජුනට මහත්සේ මහෝපකාරී විය.
ඉනික්බිති අර්ජුන හින්දු පූජකවරයකු යටතේ සූර්ය ශක්ති හා සූර්ය නමස්කාර ආසන පිළිබඳව හැදෑරුවේය. ශාන්ති දේව් නම් ඇදුරුකු යටතේ තවදුරටත් යෝග පුහුණුව ලද්දේය.
අර්ජුනගේ සිතට අවැසි වූයේ යෝග ශාස්ත‍්‍රය ඔස්සේ ලද හැකි අධ්‍යාත්මික පුනරුදයයි. එකී ප‍්‍රබෝධය සාක්ෂාත් කරගනු උදෙසා මෙකී ශාස්ත‍්‍රයේ පරතෙරටම යාමට ඔහු තුළ තිබූ වුවමනාව ඔහු විවිධ දිශාවන් ඔස්සේ මෙහෙය වූයේය.
සයුරක්සේ ගැඹුරක් ඇති විෂයක් ඇඟිලි තුඩු අගින් ස්පර්ශ කිරීම පසෙක තබා පිහිනමින් පතුල දැකීමේ වුවමනාව මත ඔහු යෝග ශාස්ත‍්‍රය පිළිබඳව ඉන්දියාවේ ලියැවුණු පොතපතද හැදෑරුවේය.
වනවැදී බවුන් වඩන තරුණයාට ගල්ලෙනෙක වැඩ සිටින තවත් භාවනානුයෝගී යතිවරයාණන් වහන්සේ නමක් හමුවූයේ මේ කාලයේදීය. යෝග ශාස්ත‍්‍රය ගැඹුරට ප‍්‍රගුණ කළ උත්තමයකුගේ හමුවීම සහන් එළියක් සේ ඔහුට මාවත පෙන්වාලූයේය. උන්වහන්සේ සමීපයෙහි බවුන් වඩන තරුණ සිතට යෝග ශාස්ත‍්‍රයේ ගැඹුර මැනවින් වැටහිණි.
යෝග ශාස්ත‍්‍රය තවදුරටත් හැදෑරීමට නම් ඔබ ඉන්දියාවට යන්න දරුවා. ආශිර්වාදාත්මක මග පෙන්වීම දුර ගමනක නිශ්චිත ඇරඹුම විය. ඉන්දියාවට ගිය අර්ජුන තමිල්නාඩු ප‍්‍රාන්තයට හැර ඉන්දියාවේ සෙසු සියලූ ප‍්‍රාන්ත වෙත ගමනේ යෙදුනේය. දිල්ලියේ සිටියදී ඔහුට සෘෂිවරුන්, යෝගීන්, ස්වාමිවරුන් සිටින ඉසව් පිළිබඳ තොරතුරු අසන්නට ලැබුණි. හිමාලය වෙත අර්ජුන ගමන් ඇරඹූයේ ඒ ලද නිශ්චිත තොරතුරු අනුවය.
හිමාලය යනු සංකීර්ණ කඳු පන්තියකි. කාර්කෝරාම්, හින්දුකූෂ් යන කඳු වැටි මේ කඳු පන්තියේ ඉහළම ප‍්‍රදේශයි. නේපාලය, භූතානය, ඉන්දියානු ප‍්‍රාන්ත වන අරුනාචල්, උත්තර චාන්, සිකිම්, හිමාචල්, ටිබැටය, ජම්මු, කාශ්මීර්, ලඩක් යන මෙකී සමස්ත භූ පරිසරය තුළම හිමාලය කඳු වැටිය තම අණසක පතුරුවා ගෙන විහිදී පැතිරී ඇත.
සංස්කෘත බසින් හිමාලය යන්න හිම් ලාසා යන්න අර්ථ දැක්වෙයි. හිම් ලාසා යනු හිම වාසස්ථානය යන්න අරුත් සහිත හිම උපත හිමෙන් වැසුණු හිම තට්ටුව යන අරුත් කැටිවූ වචනයකි. පාලි බසින් එය හිමවත් ලෙස දැක්වෙයි. මෙය විශ්වයේ ඉහළම ස්ථානය සහ තවත් ඉහළම ස්ථාන 14 කට උරුමකම් කියයි. මෙහි උසම ස්ථානය වනුයේ එවරස්ට්හි පාමීර් ගැට්ට යනුවෙන් හැඳින්වෙන ස්ථානයයි.
ලොව විශාලම ගංගාධාර තුනක් වන ඉන්දු, බ‍්‍රහ්ම පුත‍්‍ර, යැංසි යන ගංගාධාරා ත‍්‍රිත්වයම උපත ලබන්නේ හිමාලයෙනි. මෙහි ජන සමාජය ඉන්දු සහ ටිබෙට් ජනතාවගෙන් සමන්විත වන අතර ආගම් හින්දු සහ ටිබෙට් බෞද්ධ දහමයි.
හිමාලයේ හයිද්‍රා සහ රිෂිකේෂිහි යෝගී ආශ‍්‍රම ගණනාවක්ම පිහිටා ඇත. මේ ගමන යන්නට අර්ජුන දිල්ලියේ සිට නැගුනේ දුම්රියකටය. එය පැය ගණනක දිගු ගමනකි. නන්නාඳුනන මගී ඉන්දියානුවන් අතරට එක්වූ අර්ජුන දුම්රිය අසුනකට බර දුන්නේය.
ප‍්‍රවීණ යෝග උපදේශක අර්ජුන වික‍්‍රමආරච්චි
ආ දුර කොතෙක්ද කියන්නට නොදන්නා සංසාරයේ මේ දේශයේම ජන්ම ලාභය ලැබ මේ අරණම සොයා ගිය ගමනක් අතීත භවයන් තුළ තිබුණේ දැයි කවුළුවෙන් පිටතට යොමු කළ නෙතට හසුවන දසුන් අතරේ ඔහු කල්පනා කළේය. සසර මෙතෙකින් නිම නොවේ නම් නැවතත් මේ දසුන් සොයා ගමන් පැමිණෙනු ඇත්දැයි කල්පනාවද හදිස්සියෙන් මෙන් ඔහුගේ සිතට පිවිසියේය. හැන්දෑව රැගෙන එන කළුවර හුදෙකලා මගියෙකුගේ සිත තෝතැන්න කොටගෙන ඉපදෙන සහසක් සිතිවිලි වල තිඹිරිගෙයම විය. තවත් අතෙකින් දම්පාට හැන්දෑව සමග සිත් සෙනසුන මත උපන් ඒ සිතුවිලි කවියක පදවැල් වැන්න.
ස්වාමිවරු යනු ගිහි ජීවිතයෙන් මිදී යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ අය වූ අතර යෝගීන් යනු ගිහි ජීවිත ගත කරන අතරතුරම යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරන පිරිසයි. සෘෂිවරුන් යනු බොහෝ සෙයින් සිත දියුණු කරගත් අනුන්ගේ සිත් දකින කියන ඥානයෙන් යුත් තමන් තුළට කැටි කොට ගත් ශක්තියේ අනුහසින් අනුහස්පාන එකී ශාස්ත‍්‍රයේ පරතෙරටම ගිය උත්තම පිරිසකි.
සෘෂිවරුන් කිසිවකුගේත් ඇස ගැසෙන්නට නොපැමිණෙන තරම්ය. 
සෘෂිවරයකු පුද්ගලයකු අබිමුවට පැමිණෙන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. ඒ පැමිණෙන්නේද ඒ පැමිණීමෙන් සුභාර්ථයක් සිදුවන පසුබිමකදීය. සෘෂිවරුන් නිහඬය. ඒ මුවින් වදනක් ගිලිහෙන්නේ නම් ඒද කලාතුරකිනි. එහෙත් ඒ නැණස, ඒ දැක්ම ඉතා තියුණුය. ගැඹුරුය. වසර ගණනාවක් හිමාලයට ගියත් සෘෂිවරයකු හමුවීම පුද්ගලයකුට අහම්බයකි. ඒ සෘෂිවර ජීවිත අරමුණ වෙනුවෙන්ම කැපවී හුදෙකලාව තුළම පවතින හෙයිනි.
අර්ජුන රිෂිකේෂ් හි තපෝවන් ආශ‍්‍රමයේ නැවතුණේය. සංඛරාචාර්ය නැමැති ගුරු පරපුරේ නිකාය නවයට අයත් දණ්ඩි ස්වාමි පරපුර හෙවත් භාරතී ගුරු පරපුරේ වර්තමාන ආචාර්යවරයකු වූ ප‍්‍රමෝද් ආචාර්යවරයා යටතේ අර්ජුන හිමාලයේ නැවතී යෝග ශාස්ත‍්‍රය හැදෑරුවේය. අද වෙද්දීත් අප රටේ පෘථුල ලෙස ව්‍යාප්තව නොමැති ත‍්‍රිස්ථාන හත සහ අෂ්ඨාංග නැමති යෝග ක‍්‍රම හැදෑරීමේ ඉඩහසර අර්ජුනට එහිදී හිමි වූයේය.
ඉතාමත් සරල ජීවන ක‍්‍රමයකට යෝගාවචරයකු හුරුපුරුදු විය යුතුය.

සටහන - සංජීවිකා සමරතුංග / ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය

2013 ජූලි මස 07 | ලංකාදීප කර්තෘ මණ්ඩලය