යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

එදා බුදුරදුන් දුටු ලෝකය මෙදා විදු ඇසින් දැකීම

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ 
හෑගොඩ විපස්සි හිමි
ආලෝක වර්ෂ 1400 කටත් වඩා ඈතින් පිහිටා ඇති අපේ පෘථිවිය මෙන් හැට ගුණයකින් විශාල වූ ඊට සමාන අළුත් ග්‍රහලෝකයක් නාසා ආයතනය විසින් සොයා ගන්නා ලදැයි යන පුවත පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත් විය. ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයට යොමු වූ එම පුවත ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ සිත් සතන් මීට වසර දෙදහස් පන්සිය පනස් නවයක් තරම් වූ දුරාතීතයකට අරමුණු වූවා නිසැකය. ඒ අන් කිසිදු හේතුවක් නිසා නොව එදා බුදුරජාණන් වහන්සේ දුටු දස දහසක් චක්‍රාවාට මේ ආකාරයට අද විදු ඇසින් ප්‍රත්‍යක්ෂ වෙමින් පවතින නිසාය.
ඍග්වේදයේ විශේෂයෙන් දසවන මණ්ඩලයේ ඉගැන්වීම බුදුදහම හැර ලොව සෙසු ආගම් බිහිවීමට බෙහෙවින් බලපා තිබේ. ආගමික මත පිළිබඳව ප්‍රශ්න කළ ඇතැම් විද්‍යාඥයින්ට සිදු වූයේ තම ජීවිත වලින් වන්දි ගෙවීමටය. එහෙත් බුදු දහම අන් සියලු ආගම් වලට වෙනස් වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඕනෑම ධර්ම කාරණයක් ඕනෑම පුද්ගලයෙකුට ප්‍රශ්න කිරීමට විමර්ශනය කිරීමට හැකි වන නිසාය.
බුදු දහමට අනුව මේ පෘථිවි තලය කවරෙකු හෝ මවන ලද්දක් නොවේ.
බුදු දහමට අනුව මේ විශ්වයේ මුලක්,මැදක් හෝ අගක් නැත. විශ්වය අනවරාග්‍ර වන්නේ ඒ නිසාය. මේ සඳහා සංයුක්ත නිකායේ “අනමතත්ගෝයං සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති’ යන දේශනා පාඨය ගෙන හැර දැක්විය හැකිය. විශ්වය කලින් කල ඇතිවී විකාශය වන්නකි. මේ බව අග්ගඤ්ඤ සූත්‍රය, සත්ත සිරිසුග්ගම සූත්‍රය ආදී සූත්‍ර දේශනා වලින් ප්‍රකට වේ. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් ලොව ඇතිවී විකාශනය වී නැතිවී යන ආකාරය පිළිබඳව මෙසේ පැවසේ. “හොති ඛො සො වාසෙට්ඨ සමයො යං කදාචි කරහව් දිගස්ස අද්ධුනො අච්චයෙන අයං ලෝකො සංවට්ටති වීවට්ඨති...
වාසෙට්ඨයෙංනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් කිසියම් කාලයක මේ ලොව වැනසෙයි. එසේ ලොව වැනසෙන කාලය සංවට්ට කල්පයයි. විශ්වය හටගෙන විකාශය වන කාලය විවට්ට කල්පයයි.
විසුද්ධි මාර්ගය වැනි අටුවා වල මෙම කල්ප තවදුරටත් විස්තර කොට දක්වා තිබේ. ඒ අනුව විනාශ වන කල්පය සංවට්ට ලෙසද විනාශ වී පවත්නා කල්පය සංවට්ටම්ඨායි ලෙසද විනාශ වී වැඩෙන කල්පය විවට්ටයි ලෙස සහ වර්ධනය වී පවතින කල්පය විවට්ටට්ඨායි ලෙසය.
කල්පය යන්නට අරුත් කිහිපයක් වේ. ආයුෂ කල්පයක් යනු මනුෂ්‍යයෙකු උපරිම වශයෙන් ජීවත්වන කාලයයි. එහෙත් ලෝක විනාශයේදී මෙහි කල්පයක් ලෙස විග්‍රහ කෙරෙනුයේ අතිදීර්ඝ කාල පරාසයකි. කල්පයක් යනු කොතරම් දීර්ඝ කාලයක්දැයි සංයුක්ත නිකායේ සාසපොපමාවත්, පබ්බතෝපමාවත් යන උපමාවන්ගෙන් මනාව පැහැදිලි වන්නකි. එහි සඳහන් සාසප නැතිනම් අබ ඇට උපමාව මෙසේය.
දිගින් පළලින් සහ උසින් යොදුන බැගින් වූ අයෝමය චතුරස්‍රයක් සාදා එය අබ ඇට වලින් පුරවනු ලබයි. යමෙකු වසර සියයක් ගත වූ තැන පෙර සඳහන් අබ ඇට ගොන්නෙන් එක් අබ ඇටයක් ඉවත් කරන ආකාරයට දිගින් පළලින් උසින් යොදුනක් වූ අබ ඇට පෙට්ටියෙන් අබ ඇටය බැගින් ඉවත් කොට යම් දිනයක අබ ඇට පෙට්ටියම හිස් කරන්නේද, එදින කල්පය සම්පූර්ණ වූ බවය. මෙහිදී යොදුනක් යන්නද තවදුරටත් පැහැදිලි කරන්නේ නම් එය සැතපුම් 16 ක් පමණ වන විටදී විශ්වය සම්බන්ධයෙන් කල්ප විවරණය කොතෙක් නම් දීර්ඝ කාලපරාසයක්දැයි පැහැදිලිකිරීම අවශ්‍ය වන්නේ නැත.
අද වන විට නවීන විද්‍යාව තුලින් සොයා ගත්තද අප මේ ජීවත්වන පෘතුවියට අමතරව තවත් ලෝක දස දහසක් පවතින බව මුලින්ම ලොවට හෙළිකරන ලද්දේ බුදුරජාණන් වහන්සේය. මේ සඳහා හොඳම නිදසුන අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වර්ගයේ දස වැනි සූත්‍රයයි. මෙම සූත්‍රයට විශේෂ නමක් බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ සඳහන්ව නොතිබුණද ඇතැමෙක් එය චූලනිකා සූත්‍රය වශයෙන් නම් කොට තිබේ. එහි සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට මෙසේ වදාළ සේක.
ආනන්ද , සඳහිරු, දෙදෙනා යම්තාක් ප්‍රදේශයක ගමන් කරද්ද? බබලමින් සියලු දිශා ආලෝකමත් කරද්ද? එබඳු දහසක් චක්‍රමාලා ලොව වෙයිද? ඒ දහසක් චක්‍රමාලයන්හි සඳ හිරු දහස බැගින් වෙයි. දහසක් මේරු පර්වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගෝයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්ව දේහ වෙයි. මහා සමුද්‍ර භාර දහසක් වෙයි. වරම් රජවරු හාර දහසක් වෙයි. චාතුර්මහාරාජික , තව්තිසා , යාම , තුසිත, නිර්මාණ ,රතී, පරනිම්මිත, වසවර්ති ආදි දිව්‍ය ලෝක දහස බැගින් වෙයි. ආනන්දයෙනි,මේ දහසක් සක්වලින් යුත් චූලනිකා ලෝක ධාතුවයි.
මෙබඳු සහස්සී චූලනිකා ලෝකධාතු දහසක් ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතුවයි. මෙය ශ්‍රාවකයිනට විෂය නොවන්නකි. බුදුරජාණන් වහන්සේටම විෂය වන්නකි. මෙසේ ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතු දහසක් තිසහස්සී මහාසහස්සී ලෝක ධාතුවයි. කෝටි ලක්ෂයක් චක්‍රාවාටයන් මෙහි ඇතුළත්ය. ආදී වශයෙන් අංගුත්තර නිකායේ තික නිපාතයේ එන මෙම සූත්‍රයෙන් විස්තර කොට තිබේ. එම සූත්‍රයෙන් පැවසෙන දෙය සරලව මෙසේ පැහැදිලි කළ හැකිය.
එනම් එක් ඉරකින් සහ එක් සඳකින් ආලෝකය පැතිරෙන ප්‍රමාණය සක්වළකි.නැතහොත් චක්‍රාවාටයකි. එබඳු චක්‍රාවාට දහසක් සහස්සී චූලනිකා ලෝක ධාතුවයි.සහස්සී චූලනිකා ලෝකධාතු දහසක් (1000ය 1000 =1000000) ද්විසහස්සී මජ්ක්‍ධිමිකාලෝක ධාතුවයි. ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතු දහසක් (1000000ය1000 =1000000000) තිසහස්සී මහාසහස්සීලෝක ධාතුවයි. මෙහි එන ගණිත ක්‍රමය පිළිබඳව අටුවාවේ විස්තර කොට තිබේ.
නවීන විද්‍යානුකූලව සඳු යනු ආලෝකය විහිදුවන වස්තුවක් නොවේ. එහෙත් මෙම සූත්‍රයට අනුව එලෙස සඳහන් වන්නේ එකල පැවති කතා ව්‍යවහාරයට අනුවය. එය සම්මුති දේශනාවයි. මේ ආකාරයේ ලෝක ධාතු පිළිබඳව සඳහන් වන තවත් සූත්‍රයක් වන්නේ සංඛාරුප්පත්ති සූත්‍රයයි.
අපවත්වී වදාළ පූජ්‍යපාද තලල්ලේ ධම්මානන්ද මහානායක ස්වාමින්වහන්සේද මේ පිළිබඳව ඉතා හොඳ විවරණයක් සපයා තිබේ. එය මෙසේ උපුටා දක්වන්නේ උන්වහන්සේගේ විචක්ෂණ භාවය ප්‍රකට කරනු සඳහාය.
ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය හාලෝ ෂැප්ලිගේ මතයට පසුව අපේ පෘතුවියේ මෙන් ජීවි සතුන් සිටින ග්‍රහලෝක යටත් පිරිසෙයින් ලක්ෂ කෝටියක් වත් විශ්වයේ තිබේ. චක්‍රවාට ,චක්‍රවාල, සක්වළ යනු මෙම ලෝකධාතු වලටම භාවිතා කරන තවත් නම්ය. ඒ චක්‍රාකාර හැඩයෙන් ලෝකධාතුව භ්‍රමණය වන නිසාය. සක්වළ යන වචනය මෙකල වැරදි ලෙස යොදනු ලබන තැන්ද ඇත. අපට පෙනෙන සඳ තිබෙන්නේ පිටසක්වලක නොවේ. සඳ පමණක් නොවේ සෞර ග්‍රහමණ්ඩලයේ ග්‍රහලෝකද මේ ලෝක ධාතුවට අයත් ඉරවල් ඇතුළු සෞරමණ්ඩල සියල්ලක්ද අපේ සක්වළට අයත්ය. මෙම සක්වළට බුද්ධ ග්‍රන්ථවල සඳහන් වන්නේ සහස්සී ලෝකධාතු යන නමයි. නවීන විද්‍යාඥයන් භාවිතා කරන්නේ ක්ෂීර පථ යන නාමයයි.
මූලික බෞද්ධ මතයත් නවීන මතයටත් අනුව විශ්වයෙහි කුඩාම කොටස වන්නේ සූර්යයන් දහස් ගණනක් පවතින සහස්සී චූලනිකා ලෝක ධාතුවයි. බෞද්ධ මතය අනුව මේ සහස්සී චූලනිකා ලෝක ධාතු පිහිටා තිබෙන්නේ පුඤ්ජ වශයෙනි. මෙවැනි ලෝක ධාතු දශකයක් ඇති ලෝක ධාතු පුඤ්ජය දස සහස්සී ලෝකධාතු යනුවෙන් හැඳින්වේ. මෙවැනි ලෝක ධාතු සතරක් ඇති ලෝකධාතු පුඤ්ජය චතුසහස්සී ලෝක ධාතු නම්වේ. සියයක් ඇති තැන සතසහස්සී ලෝකධාතු වෙයි. මෙවැනි ලෝක ධාතු පිළිබඳව සංඛාරාප්පත්ති සූත්‍රයෙහි පැහැදිලිව සඳහන් කොට තිබේ.
මෙසේ ද්විගුණව දහස් ගණනින් එකට එක්ව පවතින මේ ලෝකධාතු පුඤ්ජය ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතු නම් වේ. අප සිටින ලෝක ධාතු පුඤ්ජයේ ඉතා ආසන්නවම ප්‍රධාන ලෝකධාතු දහයක් පිහිටා ඇත. ඊට ඈතින් පිහිටි තරමක් කුඩා ලෝක ධාතුන් සමඟ ගණනය කරන විට සියල්ල විස්සක් වේ. කන්‍යා රාශිය වශයෙන් අපට පෙනෙන ප්‍රදේශයේ ලෝක ධාතු දහසක් එකට පිඬුවී පවතී. මෙම ලෝකධාතු පුඤ්ජ හෙවත් දෙවෙනි දහස් ගණනක් වූ ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝකධාතු දහස් ගණනින් පිඬු වූ ප්‍රදේශය මුළුමහත් විශ්වයයි. එනම් තෙවැනි දහස් ගණන වූ තිසහස්සි මහා සහස්සී ලෝක ධාතුවයි. මහාලෝක ධාතු යැයි කියනු ලබන්නේ මෙයයි.
මෙලෙස විමසා බලන විටදී නවීන මතයටද මෙය හැර වෙනකක් නැත. ඇතැම් තාරකා විද්‍යාඥයෝ එයට අධිලෝක ධාතුව යැයි ද පවසති.
බුදුදහමට අනුව සක්වළකට සීමාවක් පැනවිය හැකිය. එය නම් එක් ඉරකින් ආලෝකමත් වන ග්‍රහයන් එක් සක්වළක් ලෙසය.මෙම සීමාවෙන් ඔබ්බට තවත් දහස් ගණනින් සක්වළවල් තිබේ. සිතා බැලීමෙන් සීමාවකට පිවිසිය නොහැකි කරුණු සතරෙන් එකක් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝක විෂයයි.ලෝක චිත්තාභික්ඛවේ අචින්තෙය්‍යන චින්තෙතබ්බා යං චින්තෙත්තෝ උම්මාදස්ස විසාතස්ස භාගි අස්ස”
අංගුත්තර නිකාය එසේ සඳහන් වන අචින්තෙය්‍ය පාඨයෙන් පැවසෙන්නේ ලෝක විෂය පිළිබඳව සිතීමෙන් උමතුවිය හැකි බවත් දැඩි දුකට හේතුවන බවත්ය.
මෙහි අරුත වන්නේ මෙම විෂය සම්බන්ධයෙන් විද්‍යාඥයින්ට පර්යේෂණ කිරීම නුසුදුසුය යන්න නොවේ. ලෝක විෂය සම්බන්ධයෙන් කොතෙක් පර්යේෂණ කළද එහි සීමාවක් නොමැති බවය. ඇතැම් විට මේ අසීමිත ලෝක ධාතුව පිළිබඳව දිගින් දිගටම සිතීම උමතු බවට හේතුවක් විය හැකි බවය. මේ අයුරින් ලෝක විෂය සම්බන්ධයෙන් කොතෙකුත් අදහස් ත්‍රිපිටකයේ සඳහන්ය.