යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

අරූපාවචර බ්‍රහ්ම ලෝක (Immaterial Brahma Realms)


බ්‍රහ්ම ලෝක තල 4 කි . සමථ විදර්ශනා වැඩීම හරහා මනුෂ්‍යයෙකුට විශාල අධ්‍යාත්මික දියුණුවක් ලැබිය හැක. නිර්වාන මාර්ගයට පිවිසීමට පෙරාතුව ලබන තාවකාලික මානසික දියුණු අවස්ථා හැඳින්වෙන්නේ ධ්‍යාන වශයෙනි. මුලින්ම අත්කරගත හැක්කේ රූප ධ්‍යාන 4ක් වන අතර ඉන් ඔබ්බට ගිය විට අරූප ධ්‍යාන අත්කරගත හැක. අරූප ධ්‍යාන ද 4කි. යමෙකු ඉන් එක් ධ්‍යානයක් ලබා මියයන මොහොත වනතුරුත් ඉන් නොපිරිහී සිටීමට සමත් වේ නම් ඔහු මෙලොවින් වෙන්ව ගොස් නැවත උපත ලබන්නේ ඔහු ලැබූ අරූප ධ්‍යානයට අනුරූප අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ය. ඉන් වඩාත්ම ප්‍රාථමික ලෝකය ආකාසානඤ්චායතනය වන අතර උසස්ම වන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යි.  අරූප ධ්‍යානයේ ලක්ෂණය නම් රූපය කෙරෙහි ආශාව, හෝ රූපය පිලිබඳ හැඟීම බොහෝ දුරට දුරු කර තිබීමයි. මේ නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට භෞතික පෙනුමක් නැත; පවතින ස්ථානයක් නැත; අඩුම තරමින් එහි වෙසෙන්නන්ට රූපයක් නැත. ඇත්තේ ඉතාමත්ම සියුම් හැඟීම් මාත්‍රයක් පමණි. මෙම බ්‍රහ්ම ලෝක වල ආයුෂ ඉතා දීර්ඝ ය. බුදුවරුන් ඉපිද ඉපදී පිරිනිවන්පා ගිය ද මොවුන් ඒ බව දන්නේ නැත. මේ හේතුව නිසා අනාගතයේ බුද්ධත්වය ලැබීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු - බෝධිසත්ත්වයෙකු - මනුෂ්‍ය ලෝකයේදී අරූප ධ්‍යානයක් ලැබුව ද ඔවුන් අරූපාවචර බ්‍රහ්ම ලෝක වල උපදින්නේ නැත. එය බෝධිසත්ත්ව වරුන්ට පම්ණක් විශේෂ ලක්ෂණයකි. මේ අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරයි.

1) නෙවසඤ්ඤානාසඤ්ඤායතන ( Plane of Neither Perception-nor-non-Perception ) : සිදුහත් බෝසතාණන් වහන්සේගේ දෙවන ගුරුවරයා වූ උද්දකරාම පුත්ත එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු සිතා සිටියේ නිවන යනු එය කියා ය. නමුත් බුදුන්වහන්සේ බුදුවී දම් දෙසීමට පැමිණෙන විට ඔහු එම ධ්‍යානයෙන්ම කලුරිය කර තිබූ නිසා අනන්තවත් වූ කාලපරිච්ඡේදයකට ඔහු මෙම බ්‍රහ්ම ලෝකයට ගියේය. මෙම ලෝකයේ ආයු කාලය කල්ප 84000ක් තරම් අති දීර්ඝ වේ.  
2) ආකිඤ්චඤ්ඤායතන ( Plane of Nothingness ) : සිදුහත් බෝසතාණන් වහන්සේගේ පළමු ගුරුවරයා වූ ආලාර කාලාම එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු නිවන ලෙස සිතා සිටියේ එයයි. 
3) විඤ්ඤාණඤ්චායතන ( Plane of Infinite Consciousness ) 
4 ) ආකාසානඤ්චායතන ( Plane of Infinite Space )

සබ්බ දානං ධම්ම දානං ජිනාති