යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

බෞද්ධ දර්ශනය යනු විශ්ව යථාර්ථයයි

‘මහණෙනි බුදුවීමට පෙරම බුදු නොවූ බෝසත් වූ මට මේ සිත පහළ විය. ඒකාන්තයෙන් ම මේ ලෝකයා දුකට පැමිණියේ ය. .....කවර කලෙක ජරා මරණ සංඛ්‍යාත දුකින් ඉවත් වීමක් වේ ද?” (බුද්ධ වග්ගය - ගෝතම සූත්‍රය)
බුද්ධත්වයට පෙර බෝසත් වූ එතුමා යථාභූත ඥානයෙන් යුක්ත ව යථාභූත පරිඥානයෙන් යුක්ත ව ඒ පදනමෙන් බුද්ධත්වය ට පත් වූ බවත්, බුද්ධත්වයේ දී ඥානය ඉක්මවා ප්‍රඥාව සමාධිය වූ විමුක්ති ඥාන දර්ශනය උදා වූ බවත් මෙහි දී පැහැදිලි ය. ලෝකෝත්තර ප්‍රඥාව, සමාධිය, යථාභූත ඥානය නොමැතිව සමාධිය යැයි වරදවා තේරුම් ගෙන ඇති බව කමටහන් සහිත සංස්කාර භාවනා තුළ සමාධිය වැඩීම, විදර්ශනා කිරීම භාවනා කිරීම අරුත් සුන් කෞශල්‍යය නොමැති ආධානග්‍රාහී පාරභෞතික අනුගතයක් පමණක් බව ප්‍රථමයෙන් ප්‍රකාශ කර සිටිමි. මේ පිළිබඳ ව බුද්ධ වචනයේ ප්‍රකාශනය මෙසේ ය.
“ප්‍රභාශ්වර මිදං භික්ඛ වේ .....අස්සුතවා ප්‍රථුජ්ජනො යථාභූතං නප්පජානාති තස්මා අස්සුතවතො ප්‍රථුජ්ජනස්ස චිත්ත භාවනා නත්ථිති වදාමි” (අශ්‍රැතවත් ප්‍රථග්ජනයාට - යථාභූත ඥානයක් නැති ප්‍රථග්ජනයාට චිත්ත භාවනාවක් අනුමත නොකරමි) ප්‍රභාශ්වර වග්ගය.
යථාභූත පරිඥානය අනුත්තර තථාගත ධර්මයෙන් උකහා ගෙන එයින් පරිඥානය ලබාගත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මහා බෝධියේ ප්‍රබල ධර්මය කෙරෙහි සම්මා සතියෙන් සමාධියට භාවනාවක් ඇති අතර කෙළවරක් නොමැති හින්දු යෝග කමටහන් භාවනා, සංස්කාර භාවනා, හිත නිදන්ගත කරන වශීක්‍රම තථාගතයාණන් වහන්සේ අනුමත කොට නොමැති බව මේ අනුව පැහැදිලි ය. කිසිවක් නොදැන භාවනා කිරීම යනු නන්නත්තාර වී මංමුලා වීමකි. භාවනා ඇත්තේ මහා බෝධියේ අවකාශ සම අචින්ත්‍ය ධර්මයට ප්‍රඥා සමාධියට එක්වීම තුළ පමණි. මේ අනුව බුද්ධත්වයට පෙර බෝසතුන් වහන්සේ අවබෝධ කරගත් යථාභූත ඥානය කෙසේ වන්නේ දැයි සොයා බැලීම ඉතා වැදගත්ය.
යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන් ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි (ඇත) නොවන, නස්ථි (නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස ප්‍රතිපදාව සූත්‍ර රාශිය දක්වා ඇත. පරමානුත්තර සුඤ්ඤාතාවය අනු ඉක්මවා ගිය අනුත්තර ධර්මය, අනුත්තර ධම්මචක්ඛං පවත්තිතං අප්පති වත්තියං තථාගතේන යන යෙදුම් වලින් මෙය පැහැදිලි වන්නේය.
යථාභූතය සැකැසෙන ධර්මය, රූප ස්කන්ධ වස්තු ඉන්ද්‍රිය අරමුණු චෛතසික සංකල්ප, ධර්මය නොවන්නේය. රූප සංඥා කොටගත් පඨවි ආපෝ තේජෝ වායෝ, විඥාන හෝ රූප වේදනා සංඥා සංස්කාර විඥාන හෝ කේසා ලෝමා නඛා දන්තා ධර්මය නොවන්නේය. සංඥා කොට ගත්, රූප වස්තු කොට ගත් අරමුණු විෂය කොට ගත්, සංකල්ප කොට ගත්, මාතෘකා කොට ගත්, ධර්මය, අනුත්තර ධර්මය නොවන්නේය. අනු ඉක්මවා ගිය ධර්මයේ “අනිස්සිතෝව විහරති” ලෙස තථාගතේන අභිසම්බුද්ධා ලෙස අර්ථ නිරූපිතය.

යම් කිසිවක නිශ්චිත වීම මනස ඉක්මවා යන්නේ ද එය අනිස්සිචෝත විහරති වේ. එය යථාභූත ධර්මයයි. අපගේ මනස පරිසරය ලෝකය විශ්වය සාධාරණව අනිශ්චිත වන්නේ කොහි ද? අවකාශයේ අනු අංශු ඉක්මවා ගිය විට මිස වෙන කොතන දී ද? අණු රාශිභූතය තුළ නිමිති සංඥාවේ රාශි භූතය භෞතික වේ. ස්කන්ධ රූප වේ. අනුත්තර ධර්මය වන්නේ අණු තුළ නොවේ. අණු ඉක්මවා ගිය අවකාශය සම සංඥා විරහිත යථාර්ථය තුළ ය. මෙයින් යථාභූත ඥානය සැකසෙන්නේ වේ. මෙය පාරභෞතිකයක් හෝ ආධානග්‍රාහී ආගමික ආනතයක් නොවේ. යථාභූතයේ අණු ඉක්මවා ගිය ධර්මයේ ‘ආගමික සිද්ධියක් නැත.
අණු ඉක්මවා ගිය යථාර්ථය මෙසේ පෙළ ගසමු.
ස්කන්ධය > රූපය > වස්තුව > පඨවි ආපෝ තේජෝ වායෝ > අණු > අවකාශ භූමිය > ශක්ති ව්‍යාප්තිය > අවකාශ සම > විඥාන වූ චේතනය නොවීම > (චේතෝ විමුක්තිය) පැරැණි විග්‍රහය. ස්කන්ධය > රූපය > මහා භෞතිකයෝ > මූල ද්‍රව්‍ය > (තඹ ඊයම් ගෙන්දගම් ඇලුමිනියම් යකඩ ආදී) පරමාණු ස්කන්ධ > බන්ධන > පරමාණු > පරමාණු අණු > (ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යුටෝන ආදී අණු) ශක්ති කවච > ක්වොම්ටොම් ක්ෂේත්‍ර> අවකාශය > ව්‍යාප්තිය > අවකාශය සම අචින්ත්‍ය චේතෝ විමුක්තිය සංඥා නිරෝධය මෙය නවීන විග්‍රහයයි.
මෙහිදී යථාභූත අණු ඉක්මවා යන විට, අවකාශය සම වන ශක්ති මට්ටම් ඉක්මවා යන විට, සංඥා විරහිතව මනස සම්බන්ධ ව චේතනය නොවී විශ්ව ප්‍රකෘතිය හා එක් වන්නේ ය. චේතනය නොවීම, චේතෝ විමුක්තිය, සංඥා නිරෝධය විඥාන නිරෝධය, විමුක්තිය, විමුක්ති ප්‍රඥා දර්ශනය, නාම රූප නිරෝධය, ආදී ලෝකෝත්තර අර්ථය හා එක්වීමෙන් විශ්ව ප්‍රකෘතිය යන අචින්ත්‍ය වූ මනස බුද්ධ නම් වන්නේ ය. මේ බුද්ධ මනස නැතහොත් ඇත යන අර්ථයෙන් චේතනය කිරීමට හෝ සංකල්ප ගත කිරීමට නොහැක්කේ ය.
අවකාශ සම යන අර්ථය මුණ ගැසෙන්නේ සංඥා නිරෝධ දිගක් පළලක් නොමැති, මායිමක් නොමැති, චින්තනය නොවන සිතුවිල්ලේ සිටියදීම, සිතුවිල්ල නොවන උදාවන දාර්ශනික මනසෙහි ය. එය බුද්ධ මනස වේ. මෙය කරා යන යථාභූත අණු ඉක්මවා යන අවකාශය සම ශක්ති යථාර්ථය කෙරේ. බුද්ධිමත් ඥානය සියුම් බුද්ධියෙන් අනුත්තර ධර්මයෙන් ලබා ගත යුත්තේ ය. මේ පිළිබඳ අටුවාවන් අනන්ත ය. කෙටියෙන් එය මෙසේ පෙළ නඟමු.
අප්‍රමාණ වශයෙන් බොහෝ බලසම්පන්න බුද්ධියෙන්, ඉතා සියුම් ඥානයෙන්, අණු ඉක්මවා ගිය අනුත්තර ධර්මයෙන්, පරමාණු බිඳින්නට හැකි ඥානයෙන්, මේ යථාභූතයට මනස එල්ල කරමින්, අවධානය සහ ඒකාග්‍රතාවය ඇති කරමින්, බුද්ධත්වයේ, බුදුවරුන්ගේ නිවස වෙත පැණිය හැකිය. එක් අණුවක් තුළ නිදහස් ක්‍රියාකාරිත්වය ඇත්තේ යම් සේද සැම පරමාණු ගර්භයක් තුළම අණු ශක්ති ක්‍රියාකාරිත්වය ද එසේම වන්නේය. විරාමයකින් තොරව අවකාශ මධ්‍යයේ සකස් වීම් කැඩී බිඳී යාම්, චක්‍රාකාරව නැවත නැවත සිදුවන්නේය. ශක්ති අවකාශයේ ව්‍යාප්තිය තුළ සියල්ල චේතනයෙන් තොරව විවේකී වන්නේය. මේ සියල්ල මහා ශක්තිය තුළ අචින්ත්‍ය වශයෙන් චේතෝ විමුක්ති නම් වේ.
සියලු පරමාණු තුළ මතුවන ගූඪ ශක්තීන් ඒ සියල්ල මූලික ප්‍රණිධානයේ ගූඪ ශක්තිය වන්නේය. මනසේ ඇති නිර්මාණ නම්‍යතාවයට අනුව, අවකාශ මධ්‍යයේ ඒ සියල්ල නිර්මාණය වන්නේය. සෑම අණුවක් තුළම ජීවී සත්ත්වයන් සඳහා ප්‍රාතිහාර්යයක් සේ වන මේ චින්තනය වන නාමය ද රූපයක් වන මේ ශරීරය ද දැඩි ආශාවෙන් වන විඥානයෙන් මාතෘ ගර්භයේ පිහිටීම මේරීම විග්‍රහ කරන්නේය. අපගේ දැඩි ආශාවෝ හිරු එළියේ මෝරමින් පෙණත් දූවිලිත් තුළ කැටි ගැසී නාම රූප මිශි‍්‍රතය තුළ ගැබ තුළ මෝරන්නේ කෙසේ ද? යන්න බුද්ධ ක්ෂේත්‍රය අවබෝධ කරන්නේය. මෙය යථාභූත ඥානයේ අවබෝධ යයි.
මේ මහා විශ්වය ආලෝකය විහිදුවන කිරණයන්ගෙන්, විවිධ වර්ණයන්ගෙන් යුත් ප්‍රභා මණ්ඩලයන් යුත්, පරමාණුන්ගෙන් නිර්මාණය වී ඇත්තේය. ආලෝක කදම්බයන්ගෙන් යුක්තව විටෙක දූලි පටලයන්ගෙන් යුක්තව, ආර්ද්‍රථාවයන්ගෙන් යුක්තව, ආලෝඹ් තරංග මත, ශබ්ද තරංග මත, පරාවර්තනයක් වන ක්‍රියා සන්තතිය ග්‍රහණය කරන්නට නොහැක්කේය. ගිනිදැල්, වලාකුළු මත පරමාණු සංඝගාත වේ. විශ්වය අවකාශ මධ්‍යයේ කෘතකත්වය අචින්ත්‍ය වන්නේය. එම යථාභූතය අචින්ත්‍ය ශුන්‍යතාවය අස්ති නස්ති නොවන අවකාශ යථාර්ථය සත්‍යයය. එය වෙතින් බුද්ධත්වයට වැඩම කරන ලද අතර, එයින් නික්මෙන අනුත්තර ධර්මයෙන් බුද්ධත්වය අවබෝධ කරන ලද්දේ ය.
මෙම පරමාණු ගර්භයේ ශක්ති අචින්ත්‍ය යථාර්ථයේ බුදුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය නචේතනා කරණි නිබ්බානං වන්නේ මෙම යෙදුමෙන්ය.
මෙම පරමාණු ගර්භයේ ශක්තීන්ගේ අවකාශ මධ්‍යයේ අසම සම අචින්ත්‍ය වූ සංඥා නිරෝධය ප්‍රදානය කරමින් අවකාශය කරන උතුම් යථාභූත ප්‍රදර්ශකත්වයට කෘත වේදිත්වය පළ කළ යුතුය. පරමාණුත්තර ධර්මයෙන් ඥානය වර්ධනය කරණ විශ්වීය ක්‍රියාකාරි තත්ත්වය වන බුද්ධ ක්ෂේත්‍ර හරහා ඥානය වර්ධනය කරමින් එම යථාභූත ඥානය මත බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බුද්ධත්වයේ බෝධි මණ්ඩලයේ ධර්මයට පිහිටා ගනිමින් ප්‍රඥාවට අභ්‍යාස කිරීම හැරෙන්නට ලෞකික සමත කමටහන් භාවනා සහ ආධාන ග්‍රාහී ආගමික අනුගතය අර්ථ විරහිත වන්නේය.
නිස්සිතං චලිතං - අනිස්සිතං චලිතං නස්ථි - යමක නිශ්චිත වූ මනස චලිත වේ විඥානවත් වේ. චේතනය වේ. අනිස්සිත වූ විට චලිත නොවේ. විඥාන නොවේ. විඥාන නොවන විට නාම රූප නොවේ. නාම රූප නොවන විට විඥාන නොවේ. නාම නොවන විට ජාති ජරා මරණ නොවේ. එම නිසා යථාභූත ඥානයෙන් අනිස්සිතය වෙත පැමිණිය යුතුය. යථාභූතය තුළ අනිස්සිතය වන්නේ පරම අණු ඉක්මවා ගිය ශක්ති අවකාශ මධ්‍යයේ සංඥා විරහිතව ශුන්‍යතාවයට ලක්වන චේතනය නොවන ද්වතාවයෙන් රූපමය මනස නොවන විටය. එම නිසා අනුත්තර ධර්මය සතිපට්ඨාන ධර්මයයි.
සති යනු සිහියයි. සිහිය වැඩියෙන් පිහිටන ස්ථානය පට්ඨනයයි. සිහිය වැඩියෙන් හැසිරෙන ස්ථානයෙහි පරමාණු යථාර්ථයෙහි අවකාශ මධ්‍යයේ නාම රූප සංඥා නොවීම සති පට්ඨානයයි. එම සතිපට්ඨානය අනිස්සිතෝච විහරති එහි යථාර්ථය නච කිඤීචි ලෝකේ උපාදියති යන්නයි. එහි යථාර්ථය සම් බෝධියේ අවබෝධ ප්‍රත්‍යක්ෂය වන චේතෝ විමුක්ති දර්ශන නිබ්බානයයි.
බුදුන් වහන්සේ යථාභූත ඥානයෙන් දර්ශනය වෙත පැමිණීමෙන් විමුක්ති ඥාන වෙත එක්ව අනිමිත්ත අප්පණිහිත සුඤ්ඤාත අර්හත් පල සමාධියෙන් නිරෝධ සමාපත්තියෙන් මහා බෝධි මූලයේ වැඩ සිටි සේක. යනුවෙන් වාර්තාගත කරන ලද්දේ මෙම යථාභූත ඥාන වර්ධනයයි. එම නිසා සියුම් බුද්ධියෙන් උපයා ගන්නා ලද අවකාශ මධ්‍යයේ අණු ඉක්මවා යන ශක්ති යථාර්ථය වන යථාභූත ඥානය වෙත පැමිණීම ඉතාම වැදගත් බව අවධාරණ්‍ය කරමු.
මෙම අණු ඉක්මවා යන අවකාශ මාධ්‍යයේ සංඥා නිරෝධ අර්ථය කෙරේ අපගේ අනුත්තර ධර්මය යෙදීම ආධානග්‍රාහින්ව පරිදි වැරදි සහගත බවත්, අණු ධර්මය ඉතා වැදගත් බවත් කිව යුතුය. විකල්පනයෙන් තොර වූ ලෝකෝත්තර මාර්ගයන් පිළිබඳව විශ්වමය විමුක්තිය පිළිබඳ උපක්‍රමය ඉගැන්වීම, දේශනය, විග්‍රහය පිළිබඳ කේන්ද්‍රය වන බෝධි මණ්ඩලයේ ධර්මයෙන් යෙදුම ඉතා වැදගත්ය.
බුද්ධ ක්‍ෂේත්‍රයක විශ්වීය ක්‍රියාකාරීත්වයක ආලෝක ධාරාවන් තුළ පරමාණු කෘතක බොහෝය. ඒකාලෝක කරන්නා වූ පාෂාණ කෘතක ආලෝක ධාරාවන්, විශ්වය අලංකාර කරන විවිධ ශබ්ද නිර්මාණය කරන්නා වූ විද්‍යුත් කම්පනයන් සහිත ආලෝක ධාරාවන්, ගිනිදැල්වල පැන නඟින ආලෝක ධාරාවන්, තද පෘෂ්ඨ තාරකා මඟින් දිලිසෙන ආලෝක ධාරාවන්, සියුම් කම්පනයන් සහිත ආලෝක ධාරාවන් බුද්ධ ක්‍ෂේත්‍ර හරහා ගමන් කරන තරංග ශක්තීන්, චුම්භක ක්‍ෂේත්‍ර හරහා ගමන් කරන ශක්තීන්, විශ්වමය අවකාශය හා සමව සීමාවකින් තොරව ව්‍යාප්ත වී ගුප්තව සැඟවී යන්නේය. මෙම අණු ඉක්මවා ගිය යථාභූත යථාර්ථය බුද්ධ යන්න අර්ථවත් වන ක්‍ෂේත්‍ර වන්නේය.
මෙම ආලෝක කිරණයන්ගෙන්, ශබ්ද තරංගයන්ගෙන්, ෂඩ් වර්ණයන්ගෙන්, මහා කම්පනයන්ගෙන්, පරාවර්තනයන්ගෙන්, දෝංකාරයන්ගෙන් සම්මා සම්බුද්ධත්වයේ බෝධි වෘක්ෂය සැරසී ඇත්තේය. දහසක් භූමින්වල අසංඛ්‍ය වූ පරමාණුත්තර අවකාශ මාධ්‍යයේ මනස පවත්වමින් බුද්ධ ක්‍ෂේත්‍රවල ගමන් කරමින් මෙම චේතෝ විමුක්ති අචින්ත්‍ය ධර්මය බෝමැඬදී භාග්‍යවතුන් වහන්සේ මස්තකප්‍රාප්ත කළහ. මෙම හැම බුද්ධ ක්‍ෂේත්‍රයන් තුළම අවබෝධයෙන් ලබන ආධ්‍යාත්මික ශක්තිය අතිමහත්ය. පරමාණුව නැමැති විශ්වීය නිර්මිතයේ කුඩා ඒකකයේ ගර්භයේ ක්‍රියාකාරිත්වය සියුම් බුද්ධියෙන් අවබෝධ කරගෙන, අවකාශයේ ව්‍යාප්තිය නැමැති අණු ක්‍රියාකාරිත්වයේ සංඥා නිරෝධය තේරුම්ගෙන, යෝනිසෝ මනසිකාරයෙන් උප්පත්ති මරණ සංඥා අයෝනිසෝ මනසිකාරය ඉක්මවා අචින්ත්‍ය නැමැති ඒක ව්‍යූහ සමාධියට යා ගන්ට මහා බෝධියේ ධර්මය බුද්ධ පුත්‍රයන්ට කෞශල්‍යය ප්‍රදානය කරන්නේය.
මහා බෝධියේ සම්මා සම්බුද්ධත්වයෙන් සැපයෙන ධර්මයේ ප්‍රවිවේකය සපයා දෙන්නා වූ විශ්ව යථාභූතයේ අවකාශයට අපගේ කෘතවේදිත්වය හිමිවිය යුතුය. අමරණීයත්වය මෙම යථාර්ථයයි. මහලු බව, රෝගය පැමිණෙන හැමවිටම බියට පත්වෙන මනස යථාභූතය පරිදි සිතීමේ ආත්ම දෘෂ්ටිය වන අතීත වර්තමාන අනාගත ත්‍රිකාලය හා අරමුණු විෂයෙහි අණුක්‍රමික සිතුවිලි නොවන ෂට ජීවිතයේ, මරණයේ විඥාපතිමය විඥානමය උගුලෙන් මිදී විශ්වීය අමරණීයත්වය අවබෝධ කරන විට ප්‍රකෘති විශ්ව යථාර්ථයේ (“විඥානස්ස නිරෝධෙන නස්ථි දුක්ඛන්ධස්ස සම්භවො”) ප්‍රවිවේකයට පත් විය හැකිය.
විශ්ව යථාභූතයේ සංඥා විරහිත අවකාශයේ උපත මරණය නොවන බැවින් ප්‍රවිවේකයට පත්විය හැක්කේය. සංඥාවේ නිරෝධය තුළ විඥානය ඉලෙක්ට්‍රෝනයේ අගට සාපේක්ෂ වන ශක්ති මාත්‍ර බව දත් විට මෙම ජීවිතය නිශා කාලය පැමිණෙත්ම අලුයම් කාලය පරිණතය වන තෙක්ම ප්‍රවිවේකයම වනු ඇත. පරමාභින්‍ය ආත්ම දෘෂ්ටි අවිද්‍යාව ද, උපත, මරණය පනවන විඥානය ද, යථාභූතය මැනැවින් දත් විට බැහැර කරයි ද එවිට ප්‍රබල ගැඹුරු නිශ්ශබ්ද්ථාවය වූ බෝධි මණ්ඩලයට එක්විය හැක්කේය.
මෙම යථාභූත ඥානය නිසා අපගේ හදවත් වල හා ඇසිපියෙහි ප්‍රමෝදය දිදුලන්නේය. සඳ මෝරා නැඟෙන තාරකා මණ්ඩල දිදුලන මධ්‍යම රාත්‍රියෙහි සම්මාසම්බුද්ධත්වය පරිපූර්ණත්වයට පත්වන්නේය. මෙම විශ්ව ඥානය ප්‍රඥා දර්ශය බවට පත්වූ වෙසඟ පොහොය දින මධ්‍යම රාත්‍රිය මනරම්ය. ප්‍රමෝද්‍යයය. මාධූර්යෙන් පිරීයන්නේය.
අවකාශය සම අචින්ත්‍ය යථාභූත ධර්මයෙන් ඔබගේ මනස සන්නද්ධ වන්නේ නම් අප හා සම්බන්ධ අමරණීයත්වය තේරුම් ගන්නේ නම් මේ සියලු බන්ධනයන්ගෙන් විනිර්මුක්ත වන්නේය. එය කිසිසේත් ආගමික ප්‍රාතිහාර්යක් හෝ කිසිදු ඉන්ද්‍රජාලයක් නොවන්නේය. ආත්ම සෙනෙහසින් තොර පරමානන්දයේ ප්‍රවිවේකය වන්නේය. මෙම ප්‍රවිවේකය විඥානය වූ චින්තනය තුළ නොවේ, චින්තනය තුළ ඇත්තේ මම + උපත + හා මරණයයි. සංඥාව ඉක්ම වූ අවකාශයේ අණු අග ශක්ති පුංජයන් ගේ අවකාශ සමථමයේ සංඥා නිරෝධයේ මේ කිසිවක් නොවන්නේ ය. චින්තනය ද නොවන්නේය. එවිට චින්තනය නොවන ප්‍රකෘතිමය මනස බුද්ධ මනස අමරණීයත්වයයි.
විශ්වයථාභූත අමරණීයත්වය යනු නොමැරී ජීවත්වන මම යන අදහස කිසිම ආකරයකින් ගන්නේ නැත. අමරණීයත්වය හා මරණය යන වචන දෙකම සංකල්ප ද්වයථාවයේ බැසගත් දෘෂ්ටීන්ය. චින්තනය ඉක්ම වූ, සංකල්ප ඉක්ම වූ, විශ්ව අවකාශ සම රූප සංඛාර විරහිත යථාර්ථය අමරණීයත්වය වේ. අමරණීයත්වය සංකල්පයක් හෝ චින්තනයක් නොවේ. එමනිසා චේතනය නොවීම, අමනිසිකාරය, අචින්ත්‍යය, සිතුවිල්ලෙන් තොර බව, විඥාන නොවීම, තණ්හා දිට්ඨි මාන නොවීම අමරණීයත්වය වේ.
මම යනු මම නොව හුදකලාවේ අවකාශයයි. අප සිටින්නේ හුදකලාවේ අවකාශයේ විවේකය තුළය. මෙම ශරීරය අවකාශයේ මීදුමක්, සුළඟක් වලාකුළක් සේ වන්නේය. මීදුම ඝනවී අප රූපවත් වන විට රූපයෙන් මම වී ඝන වන්නේය. ඝන භාවයේ ශරීරයෙන් මම වන්නේය. නමුත් ඝනවූ ශරීරය ධූලි බවට පත්ව, සුළඟේ විසිර යාමෙන් මීදුමෙන් වායු බවට විසිරී යන විට මම නොවී අවකාශය සම වන විට මනස ඒ බව අවබෝධ කරගෙන මනස අවකාශය සම වී අචින්ත්‍යයෙන් අමරණීය වන්නේය.
මෙම ගාම්භීර සනාතන සියුම් අනත්තාවචර මහාභූතයින්ගේ සංඥා විරහිත අප්‍රකාශිත සත්‍ය, අචින්ත්‍යයේ නිශ්ශබ්දථාවය වූ මහා නිරෝධ සමාපත්තියෙන් මහාබෝධිය තුළින් අලංකෘත වේ. දර්ශනයෙන් යුත් මහා බෝධියෝ ප්‍රඥාවම සමාධිය වන්නේය. සමාධියම ප්‍රඥාව වන්නේය. ප්‍රඥා සමාධියම භාවනාව වන්නේය. භාවනාව වෙනමත් ප්‍රඥාව වෙනමත්, සමාධිය වෙනමත් කථාකරන්නේ අවකාශ සම අචින්ත්‍ය ධර්මය වන මහා බෝධියේ ධර්මය නොදන්නා බැවින්ය. එමනිසා අචින්ත්‍ය මුණගස්සවන සෞන්දර්යේ ප්‍රමෝද්‍යයේ නවාතැන වන යථාභූතයේ කල්‍යාණ මිත්‍ර කථනයට දිගටම ශ්‍රවණ ඉන්ද්‍රිය යොමු කරන්න. බුද්ධ ක්‍ෂේත්‍රවලින් යථාභූතය මුණගස්සවන ඥානය අත්පත් කරගෙන අතීත වර්තමාන අනාගත කාලත්‍රයේ ගැටගැසුම හා අනුක්‍රමික සිතුවිල්ල තුළින්ම සිතුවිල්ලෙන් තොර බවට යන උත්කෘෂ්ට ධර්මය වෙතට එන්න.
මහා බෝධියේ මංගල්‍යය මනසේ යථාර්ථය බවට මේ ජීවිතය තුළදීම, ජීවිතය අතික්‍රමණය කිරීමෙන් එළඹෙන්න. මෙය වෙසක් මංගල්‍යයේ පණිවුඩයයි. ප්‍රමෝද්‍යයේ, සෞන්දර්යේ සහ කල්‍යාණ මිත්‍රත්වයේ ශ්‍රී හස්තය බුදුන්වහන්සේ හැම විටම දිගු කොට සිටින්නේ අනුත්තර ධම්ම චක්ක ප්‍රවර්තනයෙන් බුද්ධ ක්‍ෂේත්‍ර හරහා මහා බෝධියේ සන්දර්ශකයෙනි.