යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

අහසේ ඇවිදින යෝගී ලාමාවරු

අදත් තිබ්බතයේ සිටිති
ගුප්ත ශාස්‌ත්‍රයේ සත්‍ය අබිරහස්‌ 03

මෙයට අවුරුදු දෙදහසකට පමණ පෙර තිබ්බතයට හරියාකාර ආගමක්‌ නොවීය. එහි සිටි ජනයා ස්‌වභාව ධර්මයට වැඳුම් පිදුම් කළහ. එනම් ඔවුහු ගස්‌ ගල්වලට වන්දනාමාන කළහ. ගසකට වඳින විට ඒ සඳහා කාරණයක්‌ අවශ්‍යය. කාරණයක්‌ නැතිව ඒ වන්දනාව කෙරේනම් එය හිස්‌ වැඩකි. මේ හිස්‌තැන පිරවීමට එන තැනැත්තා රුක්‌ දෙවියාය. රුක්‌ දෙවිවරු ආසියානු රටවල පමණක්‌ නොව ලතින් ඇමරිකාවේද සිටිති. ගසකට වඳින විට එය නිකම්ම කොටයක්‌ ලෙස නොසලකා එතැන රුක්‌ දෙවියකු සිටින ලෙස සලකා වැඳීමට මිනිස්‌සු කැමැත්තාහ.

බුදු දහම පහළ වන්නේ කිතු උපතටත් වසර හයසියයකට පමණ පෙර බව අපි දනිමු. ඉන්දියාවේ දේශ සිමා අතරින් ගමන් කර බාහිර ලෝකයට ගමන් කරන්නට පටන් ගත් මුල් කලයේදී 'ශුද්ධ බුදු දහමට' හෙවත් එතෙක්‌ පැවැති පවිත්‍ර බුදු දහමට යම් යම් දේ එකතු විය. එසේත් නැත්නම් සමහර රටවලට බුදු දහම ගමන් කරන්නේ ඉන්දියාවේ සාම්ප්‍රදායික ආගම්වලින් එකතු වුණ යම් යම් ලක්‌ෂණ සමඟය. උදාහරණයක්‌ ලෙස හින්දු යෝගියෙක්‌ බුදු දහම වැළඳ ගත් පමණින් සිය යෝග ව්‍යායාම අත්හැරියේ නැත. යෝග ව්‍යායාම ශරීරයට ඉතා හොඳය. ඒ අනුව ඔහු තවත් කෙනකුට බුදු දහම උගන්වන විට යෝග අහ්‍යාසද කියා දුන්නේය. යෝග අභ්‍යාසවල පරතෙරට ගිය අය හෙවත් කුණ්‌ඩලිනි යෝගය අවදි කර ගැනීමට දන්නා යෝගීහු තමන් තවදුරටත් දන්නා ක්‍රියායෝග, චර්යායෝග, යෝගතන්ත්‍ර, අනුතරයෝගතන්ත්‍රවැනි අංග තම ශිෂ්‍යයන්ට කියා දුන්හ. මෙකී යෝග ක්‍රියාකාරකම්වලින් ලෝකෝත්තර සුවයට වඩා ලෞකික සුවයක්‌ ළඟා කර ගත හැකි විය. එයට හේතුව ඒවා හින්දු ආගම සමග තිබූ සහ සම්බන්ධයයි. මහායාන බුදුදහම නමැති කොටස බිහිවන්නේ මෙහි අතුරු පලයක්‌ ලෙසය. හීනයාන බුදු දහමට එකම එක ගුරුවරයකු හෙවත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ පමණක්‌ සිටියද මහායාන බුදු දහමට ගුරුවරු බොහෝ සිටිති. තිබ්බත මහායානයට අනුව ඕනෑම කෙනෙකුට මරණ මංචකයේදී යහපත් සිතුවිලි උපදවනා ඒ ඔස්‌සේ භාවනා කරමින් පුනරුත්පත්තියක්‌ නොලබා නිර්වාණය සාක්‌ෂාත් කරගත හැකිය. එහෙත් හීනයාන බුදුදහමේ හැටියට නිමක්‌ මග යනු දිගු ගමනකි. ඒ සඳහා නිවන් නැති ආත්ම ගණනක්‌ පෙරුම් පිරිය යුතුය. මේ පිළිබඳ වැඩි විස්‌තර ලබා ගැනීමට කැමති පාඨකයන් The Tibetian Book of the be dead නමැති ග්‍රන්ථය ඇසුරු කළ යුතුය.

මහායාන බුදුදහම තිබ්බතයේ පහළ වන්නේ ක්‍රි.ව. හයවන, හත්වන, අටවන සියවස්‌ වලය. ජෙට්‌සුන් මිලරේපා (Jetsun Milarepa) යන ලාමාවරයා ක්‍රි.ව. 1052 - 1135 අතර කාලයේදී තිබ්බතයේ ජීවත්වූ අතර එරට පහළ වූ විශිෂ්ටතම යෝගියා ලෙස විශ්වාස කෙරේ. තිබ්බත බුදුදහමේ (මහායාන) ආචාර්යවරයකු වූ මාර්පා ලෝත්සව (1012-1097) ඔහුගේ ගුරුවරයාය.

තිබ්බත බුදු දහමේ කොටස්‌කාරයකු ලෙස අහසින් වැඩිම වාර ගණනක්‌ ගමන් කළ මහායානිකයා ලෙස හඳුන්වන්නේ පේට්‌සුන් මිලරේපාය. බටහිර තිබ්බතයේ ඉඩම් හිමි ධනවත් පවුලක සමාජිකයකු ලෙස එතුමා උපදී. ඔහුගේ ගිහි නම අන් එකකි. ඔහු සත් හැවිරිදි දරුවකුව සිටියදී රෝගී පියා මිය යයි. මරණයට පළමුව තම සහෝදර සහෝදරියන්ට දේපළ පවරන පියා මිලරේපා තරුණ වියට පත්වන තුරු එම දේපළ කළමනාකරණය කර දෙන ලෙස සොයුරු සොයුරියන්ට දන්වයි. එහෙත් පියා මියගිය පසු ඥතීහු මිලරේපාගේ පවුලට කිසිවක්‌ නොදෙති. මව, ගුප්ත විද්‍යාව හැදැරීම සඳහා මිල්රේපා ගුරුවරයකු වෙත යවයි. ගුප්ත විදාව උගන්නා මිලරේපා, සිය ඥතීන්ගේ විවාහ අවස්‌ථාවකදී බලගතු හිම කුණාටුවක්‌ මවා විවාහය පැවැත්වෙන නිවස බිමට සමතලා කර 35 දෙනකු මරණයට පත් වීමට ඉඩ සලසන බවත් ඒ සඳහා පළිගනු පිණිස එන ගැමියන්ගේ කුඹුරු ඉඩම් එබඳුම යෝධ හිම කුණාටුවකින් විනාශ කරවන බවත් ඔහු පිළිබඳ කතන්දරවල එයි.

යොවුන් වියෙන් තරුණ වියට පත්වන මිලරේපා අතීතයේදී කළ භයානක ක්‍රියා ගැන කණගාටුවෙමින් භාවනාවෙහි යෙදී දුක සහ සැප දෙකම අත්විඳීම අත්හරී. ඒ සමගම කර්මඵල ධර්මය තවදුරටත් වලංගු නොවන බවත් තමා යළි නොඉපැදීමේ මාර්ගය වෙත එළැඹි බවත් ප්‍රකාශයට පත් කරයි. මිලරේපා මෙතරම් ඉක්‌මනින් සංසාර ගමන කෙටි කර ගන්නේ කෙසේදැයි පාඨකයා ප්‍රශ්න කරනවා ඇත. එයට පිළිතුරවන්නේ අප කතා කරන මේ බුදුදහම තිබ්බත මහා යාන බුදුදහම බවය. එයට අනුව මරණ මංචකයේදී වුව නිර්වාණය පිණිස වන චින්තය ඇති කර ගැනීමට භාවනාව හුරු කළ අයට පුලුවන.

හින්දු ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථවලට අනුව (උපනිෂද් ධර්ම ග්‍රන්ථ) කර්මය මනුෂ්‍යය වර්ගයා වෙත මුදා හරිනු ලබන්නේ ඊශ්වර දෙවියන්ය. සීකයක්‌ අදහන සීක ආගමේ හැටියට මායාව නමැති බලවේගය විසින් මිනිසුන් පිට කර්මය පටවනු ලැබේ. මායාවට අවනත වන ආකාරයේ ප්‍රමාණයට අනුව කර්ම විපාකයේ ප්‍රමාණය තීන්දු වෙයි. ජෛන ආගමේ හැටියට කර්මය තීන්දුවන්නේ සිත කය වචනය සහ චිත්ත සන්තානයේ හටගන්නා විවිධ හැසිරීම් විසින් ආත්මයට ඇති කරන චලනය මතය. මෙය ඒ ඒ ආගම්වලට සාපේක්‌ෂ තත්ත්වයකි. කර්මය අවලංගුවන බවට මිලරේපා යෝගියා නගන තර්කය ඔහු අනුගමනය කරන මහායානයට සාපේක්‌ෂය.

ප්‍රංශ ජාතික දේශගවේශක කාන්තාවක වූ Alexandra Devid Neel 1924-28 කාලය තුළ තිබ්බතයේ උස්‌ කඳු අතර පිහිටි ලාමාවරුන්ගේ තාපසාරාමවලට ගොස්‌ ලැබූ අත්දැකීම් අලලා Mystic and Mystery in Tibet යනුවෙන් පොතක්‌ ලියා ඇත. ජෙට්‌සුන් මිලරේපා ශිෂ්‍යයකුව සිටි කාලයේදී මාස ගණන් ගත කරමින් ගිය ගමන් ගුප්ත ශාස්‌ත්‍රය උගත් පසු තප්පර කිහිපයකින් ගිය බවට සාක්‌ෂි තිබ්බතයේ මුඛ පරම්පරාගතව ඇති බව ඇය එම ග්‍රන්ථයේ විස්‌තර කර ඇත. යෝග ව්‍යායාම්වල එක්‌ අවස්‌ථාවකදී ඉතා වේගයෙන් ගමන් කිරීමේ තාක්‌ෂණයක්‌ ශිෂ්‍යයෝ උගනිති. මෙය එක්‌තරා යෝග ගුරුකුලයකට අයත් ශාස්‌ත්‍රයකි. තප්පරයක්‌ තුළ බඹ කිහිපයක්‌ ගමන් කළ හැකි ලාමාවරයෙක්‌ මිලරේපා යෝග ශාස්‌ත්‍රය උගත් තාපසාරාමයේ විය. එවැනි ලාමාවරයෙක්‌ Alexandra Devid Neel ටද හමු විය. "ඔහු ගමන් කළේ පොළවෙහි පාද ස්‌පර්ශ නොකරමිනි. දෙපා හුවමාරු වූයේ පොළොවෙන් ඉහළ අවකාශයේදීය "ඇය සිය පොතෙහි ලියුවාය. ඛLung - gom - pa ලෙස හැඳින්වෙන මේ ඇවිදීම එක්‌තරා ආකාරයක භවානාවකි. එය 'පවන්ධ්‍යානය' ලෙස හැඳින්වේ. මේ ක්‍රමය යොදාගෙන නොනැවතී දින කිහිපයක්‌ ගමන් කළ යෝගාවචර ලාමාවරු තිබ්බතයේදී Alexandra ට හමු විය. ජපානයේ කියෝටෝවේ හෙයි (Hiei) නමැති කඳුකරයේද මෙබඳු ක්‍රමවේදයන් යොදාගෙන ගමන් කරන මහායාන භික්‌ෂුහු සිටිති.

හිම කුණාටුවක්‌ වස්‌සවා, තිස්‌පස්‌ දෙනකු මරා කුඹුරු අක්‌කර කිහිපයක්‌ද විනාශ කිරීමෙන් පසු පැත්තකට වී කල්පනා කළ ජෙට්‌සුන් මිලරේපා තමා විසින් ගුප්ත ශාස්‌ත්‍රය යොදා ගත් ආකාරය වැරදි බව නිගමනය කළේය. නිවැරදි භාවනාව සහ යෝග ශාස්‌ත්‍රය උගෙනීම සඳහා ලොව පළමුවන මහායාන සූත්‍රය ලෙස හඳුනාගත් ප්‍රඥපාරමිතා සූත්‍රය මනා ලෙස හදාරා බෝධි සත්ත්ව තත්ත්වයට ගමන් කරන පිණිස අවශ්‍ය කරන මහායානික දැනුම සහිතව සිටි මාපා ලෝත්සව නමැති ගුරුවරයා වෙත මිලරේපා යොමු විය. ඉන්දියාවෙන් ගෙනා බෞද්ධ සූත්‍ර දේශනා තමන්ට ආවේනික යෝග ශාස්‌ත්‍රය සහ භාවනා ක්‍රම සමග ගලපමින් මහායානය පෝෂණය කිරීම ඔහුගේ කාර්යය විය. ශාස්‌ත්‍රය උගැන්වීමට පෙර, එකක්‌ සාදා නිම වන විට එය කඩා දමමින් තව එකක්‌ සැදීමේ ක්‍රමයට අනුව විශාල කුලුනු තුනක්‌ ඉදි කර තැබීමට මිලරේපාට සිදු විය. මේ කාර්යය නිමවූ පසු තට්‌ටු නවයක කුලුනක්‌ සාදන ලෙස මිලරේපාට නියෝග කෙරිණ. මිලරේපා විසින් තනි ශ්‍රමයෙන් 11 වන සියවසේදී සාදන ලද මේ විශාල ගොඩනැගිල්ල අදටත් තිබ්බතයේ තිබේ. මාපා තුමා වෙතින් මිලරේපාට ශාස්‌ත්‍රය ලැබෙන්නේ මින් පසුය. ගුරුවරයා යටතේ ශිෂ්‍යයා 12 වසරක්‌ උගත්තේය. ඉන්පසු zවජ්‍රධරZ නමැති තත්ත්වයට පත් විය. මහායාන බුදුදහමට අනුව වජ්‍රධර යනු පූර්ණ නිර්වාණයයි. එය පිළිගැනීම හෝ නොගැනීම අපේ වැඩකි.

වයස අවුරුදු 45 දී මිලරේපා ගල්ගුහාවක වාසය කිරීමට යයි. එහි කහඹිලියා කුලයේ ශාකයක පත්‍ර වියලා උතුරන වතුරට දමා පානය කිරීමෙන් පමණක්‌ උන්වහන්සේ ජීවත් වෙයි. මෙසේ දිගු කලක්‌ මේ දියරය පානය කිරීම නිසා උන්වහන්සේගේ ශරීරය කොළ පැහැ ගැන්වෙයි. කොල පැහැති සිරුරක්‌ ඇති මිලරේපාගේ සිතුවම් තිබ්බතයේ ඇත. අවුරුදු 63 දී උන්වහන්සේගේ දහවන වාර්තා වේ තිබේ.

යෝගි මිලරේපා අහසින් ගමන් කළ ස්‌වරූපයේ විශේෂත්වයක්‌ තිබේ. එතුමා අහසේ පා වුණේ නැත. ඔහු පොළොවෙන් අඩි කිහිපයක්‌ උඩින් අපට නොපෙනෙන තරම් වේගයෙන් දෙපා චලනය කරමින් ගමන් කළේය. එතුමා අදටත් තිබ්බතයේ වඩාත්ම ජනප්‍රිය යෝගියා වන්නේ ඒ නිසාය. නිතරම සතුටින් සිටි ඔහු ආගමික ගිත ගායනා කළ කෙනෙකි. මිලරේපාගේ සුවිශේෂ ආගමික ගුරුකුලයට අයත් අහසේ ඇවිදින යෝගීහු අදත් තිබ්බතයේ සිටිති.

(ලබන සතියේ - නලලේ හිලක්‌ විද තුන්වන ඇසක්‌ තැනූ ලොබ්සැං රම්පා යෝගියා)


අනුර සොලමන්ස්‌

2013 මාර්තු  31 ඉරිදා දිවයින