යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

අහසේ පා වෙමින්ම විනාඩි 4 ක්‌

නිදාගත් අපූරු යෝගියා
ගුප්ත ශාස්‌ත්‍රයේ සත්‍ය අබිරහස්‌ 02

මනුෂ්‍යයකුට අහසේ පා විය හැකිද? අර්යහත්ඵල සමාපත්තියට සපැමිණි බෞද්ධ භික්‍ෂූන්, දෙවිවරුන් යනාදීහු අහසේ පා වෙමින් පෙළහර පෑ බව ඉතිහාසය අපට කියයි. එසේම ඇතැම් ආගම් වක්‌තෲන්ද අහසේ පා වූ බවට ලිත සාක්‍ෂි තිබේ. අහසේ පා වෙන මනුෂ්‍යයන්ගේ (සමහරවිට පිට සක්‌වල වාසීන් හෝ දෙවිවරුන්) රූප වසර විසි තිස්‌ දහස පැරැණි ගුහා චිත්‍ර ලෙස ලෝකයේ විවිධ රටවල අදටත් තිබේ. අහසේ පා වෙමින් දෙව්ලොව සිට පොළවට පැමිණි දෙවිවරුන් ලෙස අපේ ආදි මුතුන් මිත්තන් විසින් හඳුනා ගනු ලැබ සිටියෝ දෙවිවරුද?

යෝග ශාස්‌ත්‍රය ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ගුරුවරුන් සහ සෘෂිවරුන් අහසේ පා වීම ඉන්දියානු ගුප්ත ශාස්‌ත්‍රය තුළ බහුල සංසිද්ධියකි. සාමාන්‍යයෙන් යෝගිවරු සහ සෘෂිවරු මහජන ප්‍රදර්ශනය සඳහා සංදර්ශන මට්‌ටමින් අහසේ පා වන්නේ නැත. එසේ කරන්නෝ මැජික්‌ ශිල්පීහුය. උදාහරණයක්‌ වශයෙන් සුප්‍රසිද්ධ ඇමරිකානු මැජික්‌ ශිල්පියකු වන ඩේවිඩ් කොපර් ෆීල්ඩ් ප්‍රසිද්ධ සංදර්ශනවලදී අහසේ පා වෙමින් ප්‍රාතිහාර්ය දක්‌වයි. ඒ සඳහා අධ්‍යාත්මික බලයක්‌ හෝ ගුප්ත ශාස්‌ත්‍රයක්‌ ඔහු විසින් යොදා ගන්නේම නැත. එය ඉන්ද්‍රජාලයක්‌ හෙවත් ඇස්‌ බැන්දුමකි. මැජික්‌ ශිල්පියා එය කරන්නේ විවිධ භෞතික උපක්‍රම මාර්ගයෙනි. ඒ සඳහා ඔහු සිය ශරීරය පුරුදු කර ඇත.

එසේ නම් ඇස්‌බැන්දුම ක්‍රියාවලියෙන් පරිබාහිරව මනුෂ්‍යයකුට අහසේ පාවිය හැකිද? 13 වැනි සියවසේ විසූ ජෙට්‌සුන් මිලරේපා නමැති ලාමාවරයා අහසේ පාවෙමින් ප්‍රාතිහාර්ය කළ තන්ත්‍රයානික බෞද්ධ භික්‍ෂුවකි. ජපානයේ නින්ජා සටන්කරුවෝද අහසේ පාවෙමින් සටන් කිරීමේ හැකියාව ඇති අය ලෙස හඳුනාගෙන තිබේ. නම්‍යශීලී වීම සඳහා කය පුරුදු කළ පුද්ගලයකුට පොළොවෙන් ඉහළට පැන යම් ප්‍රමාණයකට පාවී ගොස්‌ බිමට පතිත වීමට ශක්‌තිය ඇත. මෙය හරියටම දුර පනින්නකුගේ ක්‍රියාකාරීත්වය හා සමානය. එහෙත් නින්ජා, සටන්කරුවන්ට අහසේ ඉහළට පැන එතැන් සිට පොළවට සමාන්තර සරළ රේඛාවක අහසේ විශාල දුරක්‌ ගමන් කළ හැකිය. මේ අතර අහසේ ගමන් කළ කතෝලික සාන්තුවරුන් 200 කට වැඩි ගණනක්‌ ගැන ආගමික පොත්වල විස්‌තර තිබේ. 1603 දී ඉතාලියේ ඇප්‍රලියා ප්‍රදේශයේ උපන්, පසු කාලයේදී කුපර්නිකෝවේ ජෝසෆ් ලෙස හඳුන්වන ලද සාන්තුවරයාද අහසේ පා වීමට හැකියාව තිබූ කෙනෙකි. අශ්ව ඉස්‌තාලයක උපන් ඔහු නූගතෙකි. එහෙත් අප්‍රමාණ ප්‍රඥවන්තයෙකි. සෑම වසරකටම හත් වතාවක්‌ දින අට බැගින් නොකා නොබී උපවාස කර විජලනය සඳහා කය පුරුදු කර ගත් හෙතෙම සතුන් සමග අදහස්‌ හුවමාරු කර ගැනීමේ හැකියාව ඉතා හොඳින් වර්ධනය කරගෙන තිබිණ. එක්‌දහස්‌ හයසිය ගණන්වල ජීවත් වූ අටවැනි උර්බාන් පාප්වහන්සේ ඉදිරිපිටදී මෙන්ම කාදිනල්වරු දෙදෙනෙක්‌ද, සාමාන්‍ය ජනයා ඉදිරිපිටද ඔහු අහසේ පාවී ඇත. ක්‍රිස්‌තු භක්‌තික සහ දේව සේවක කුපර්නිකෝවේ ජෝසෆ්තුමා මේ සියල්ල කළේ විසි අවුරුද්දක්‌ තිස්‌සේ නොකඩවා අධ්‍යාත්මික ශාස්‌ත්‍රය ප්‍රගුණ කිරීමෙන් පසුය. මේ ක්‍රමවේදය හැඳින්විය හැකි පෙරදිග නාමය වූ කලී භාවනාවය. එතුමා පොළොවෙන් ඉහළදී පෑ ප්‍රාතිහාර්ය පිළිබඳ ලිත සාක්‍ෂි ගණන සියය ඉක්‌මව වූ අතර එතුමාට පට බැඳ තිබූ නාමය වූයේ "පියාඹන ශ්‍රමණයා"ය. වරක්‌ දෙපැයක්‌ තිස්‌සේ අහසේ පා වූ එතුමා 1665 සැප්තැම්බර් 18 වැනිදා උණ රෝගයකින් මළේය. 1753 දී සාන්තුවරයකු ලෙස නම් කෙරුණ ජෝසෆ්තුමාගේ චරිතාපදානය එම වසරේදීම පළ විය. මේ අතර සාන්ත ජෝන් නමැති කතෝලික සාන්තුවරයා ද අවිලාවේ තෙරේසා නමැති සාන්තුවරිය ද අහසේ පාවීමේ හැකියාව තිබූ අය ලෙස වතිකානයේ ලේඛනවල සටහන් වී ඇත. මේ දෙදෙනා රෝමයේ සාන්ත පීතර දේවස්‌ථානයේ පියස්‌ස තෙක්‌ ඉහළ නැඟි බවට ලිත සාක්‍ෂි තිබේ. තමා කළ යහපත් ක්‍රියාවක්‌ නිසා සිත තුළ අධික උද්දාමයක්‌ හටගන්නා විට කිසිදු ආයාසයකින් තොරව තම සිරුර සැහැල්ලු වන බවත් ඉන්පසු තමා පාවීමට පටන්ගන්නා බවත් තෙරේසා සාන්තුවරිය කියා තිබේ. එංගලන්තයේ කැන්aටබරියේ ආච්බිෂොප් ලෙස කටයුතු කළ එඩ්මන්ඩ් සාන්තුවරයා 1242 දීද බෙත්ලෙහෙමේ ජීවත්වූ කන්‍යා සොයුරියක වන මේරි මාතාව 1700 දී ද දකුණු ආජන්ටිනාවේ විසූ සුවාරෙස්‌ පියතුමා 1911 දීද අහසේ පාවූ බවට සාක්‍ෂි තිබේ. මේ සියල්ල ලිත සාක්‍ෂි බව නැවත වරක්‌ මතක්‌ කර දෙමු. 1911 වනවිට ඡායාරූප කර්මාන්තය ලොවට හඳුන්වාදී තිබූ නමුත් සුවාරෙස්‌ පියතුමාග් ප්‍රාතිහාර්යය පෑ ඡායාරූපගත නොවීම විශාල අඩුවකි.

ලෝක ඉතිහාසය තුළ අධ්‍යාත්මික ශක්‌තියෙන් අහසේ පාවූ අයකුගේ පළමු ඡායාරූප සාක්‍ෂිය එන්නේ ඉන්දියාවෙනි. ඒ වූ කලී දකුණු ඉන්දියාවේ විසූ යෝගියකු වන සුබ්බයියා පුලවර් 1936 ජුනි 6 වැනිදා නරඹන්නන් 150 ක්‌ ඉදිරිපිටදී විනාඩි 4 ක කාලයක්‌ පොළවෙන් අඩි හතරක්‌ ඉහළ අහසේ පාවෙමින් නිද්‍රා සෙයියාවෙන් කළ භාවනාවය. 1936 ජුනි 6 වැනිදාට ඉතා පැහැදිලි අහසක්‌ සහ තද සූර්යාලෝකයක්‌ තිබූ දවසකි. සුබ්බයියා පුලවර් තුමා තම ප්‍රාතිහාර්යය පාන්නේ එදින මද්දහනේය. The Illastrated London News නමැති පුවත්පත මේ සිද්ධිය ගැන පින්තූර සහිත විශේෂාංගයක්‌ පළ කළේය. පී. වයි. ප්ලන්කෙට්‌ නමැති ඡායාරූප ශිල්පියා විවිධ කෝණවලින් මෙම අවස්‌ථාව ඡායාරූප ගත කළේය.

ප්‍රාතිහාර්යය සිදු වන්නේ මෙසේය. පුලවරතුමාගේ සේවකයෝ ඉතා හොඳින් ආවරණය වූ ස්‌ථානයක කූඩාරමක්‌ ඉදි කළහ. ස්‌තෝත්‍ර කීම ආරම්භ කළ පුලවර්තුමා කූඩාරම වටා ජලය වත්කරමින් එය තුළට පිවිස විනාඩි 5 ක්‌ ගත කළේය. ඉන්පසු යෝගිතුමාගේ සේවකයෝ කූඩාරම ඉවත් කළහ. එවිට දැක ගැනීමට ලැබුණේ කුමක්‌ද? පුලවර්තුමා පොළවෙන් අඩි හතරක්‌ උඩ තිරස්‌ අතට සමාධියකට සමවැදී සිටින ආකාරයය. ඔහු රෙදි වලින් ඔතන ලද යශ්ටියක්‌ දකුණු අතින් අල්ලාගෙන සිටි අතර වම් අත මත හිස තබාගෙන සිටියේය. යෝගිතුමාගේ සිරුරද, යෂ්ටිය වල දමා තිබූ ආධාරකයක්‌ ද යන්නද පරීක්‍ෂා කිරීමට ඕනෑම කෙනකුට අවසර ලැබිණ. ඊළඟට zපරීක්‍ෂකයන්Z ඉවත් කරන ලද අතර පුලවර්තුමා වටා කූඩාරම යළි ඉදිකරනු ලැබීය. මේ අතර ඡායාරූප ශිල්පී පී. වයි. ප්ලන්කෙම් කූඩාරම් රෙද්ද තුලින් හොරෙන් බැලුවේය. එවිට ඔහු දුටුවේ සැරයටිය අත්හල යෝගිතුමා ඉතා සෙමෙන් තමා සැකසී සිටි ආකාරයෙන්ම පොළවට පහත් වී නිද්‍රාවෙන් අවදි වූ බවය. එසේ පොළවට පහත් වීම සඳහා විනාඩි 5 ක්‌ ගත විය. මෙය පෘථිවියට බලපාන ගුරුත්වාකර්ෂණයේ සියලු නියමයන්ට විරුද්ධ ක්‍රියාවලියකි.

නැවතත් කූඩාරම ඉවත් කරන ලදි. යෝගි පුලවර් දිගටම සමාධියට සමවැදී සිටියේය. ඔහු හිස තබාගෙන සිටින අත දිගහරින ලෙස ඔහුගේ ආවතේවකරුවෝ රැස්‌aව සිටි අයගෙන් ඉල්ලූහ. එහෙත් එම අත මෙන්ම ඔහුගේ ඉතිරි අත ද දෙපාද දරදඬු වී තිබිණ. යෝගියාගේ අත්පාවලට වතුර වත් කළ ආවතේවකරුවෝ ඒවා පිරිමැද්දහ. යෝගි පුලවර් සමාධියෙන් අවදිව ප්‍රකෘති තත්ත්වයට පත්වන්නේ එවිටය.

පෘථිවියට අඩි කිහිපයක්‌ ඉහළින් පාවීමේ හැකියාව මනුෂ්‍යයකුට ලැබෙයි නම් එහි තේරුම ඔහු තුළ ගුරුත්වාකර්ෂණයට ප්‍රතිවිරුද්ධ හැකියාවක්‌ ගොඩනැඟෙන බව ය. මෙය බටහිර ලෝකයේ භෞතිකවාදය මගින් තේරුම් කළ හැකිද? යෝගි පුලවර් ඇතුළු ඉන්දියානු ප්‍රාතිහාර්යකරුවන් ගැන පොතක්‌ ලියූ වින්සන්ට්‌ ඡේ මැක්‌සිනිස්‌කි නමැති පර්යේෂකයා කියන පරිදි භෞතික විද්‍යාඥයන් විසින් භෞතික විද්‍යාත්මක පරිමිතියකට (අර්ථකතනයන්ට) අනුව තේරුම් කරන භෞතික විශ්වයට අමතරව අධ්‍යාත්මික විශ්වයක්‌ ද අප වටා තිබේ. එය ගුප්ත විද්‍යාත්මක විශ්වයකි. භූතාත්ම, යක්‍ෂ ප්‍රේත පිශාචාදීන්, දෙවිවරුන්, ඇසට නොපෙනෙන භෞතික නොවන බලවේගයන් පවතින්නේ මේ ගුප්ත විද්‍යාත්මක විශ්වය තුළය. භෞතික විශ්වය ඉක්‌මවා ගිය හැකි තරමට සිත දියුණු කිරීමටත් සිත එක අරමුණක පවත්වාගෙන යැමටත් ශක්‌තිය ඇති කර ගත්විට ගුප්ත විශ්වයට පිවිසීමට අපට හැකිය. මෙසේ ගුප්ත විශ්වයට පිsවිසෙන කෙනකුට කාලය සහ අවකාශය පිළිබඳ අයින්ස්‌ටයින්ගේ න්‍යායය ඉක්‌මවිය හැකිය. විශ්වයේ වැඩිම වේගයෙන් ගමන් කරන බලවේගය හෝ ද්‍රව්‍යය ආලෝකය බවත් තප්පරයට සැතපුම් එක්‌ලක්‍ෂ අසූහත්දහසක්‌ වූ එම වේගය ඉක්‌මවන බලවේගයකට (හෝ පුද්ගලයකුට) කාලය නමැති සාධකය තවදුරටත් බලපාන්නේ නැති බවත් මේ යුදෙව් ජාතික විද්‍යාඥයා සඳහන් කළේය. එහි තේරුම කාලය නවතින බවය. ආලෝක වේගය ඉක්‌මවිය හැකි භෞතික බලවේග තවමත් සොයාගෙන නැතත් මනුෂ්‍යය සිතුවිලි නමැති අධ්‍යාත්මික බලවේගයට එම වේගය ඉක්‌මවිය හැකිය. ඒ බැවින් ගුප්ත විශ්වයට පිවිසි භාවනාව වැනි ක්‍රියා හරහා අධ්‍යාත්මය ශක්‌තිමත් කරගන්නා කෙනකුට භෞතික විශ්වය ඉක්‌මවා යැමට පුළුවන. ආලෝකයේ වේගය පරදවන විට කාලය නැවතුණොත් අතීතය අනාගතය හරහා යැමට සහ ඒමට වර්තමානයේ සිටින පුද්ගලයාට පුළුවන. බුදු, පසේබුදු, මහරහත් යනාදීන් ආලෝකයේ වේගය ඉක්‌මවා සිතුවිලි මුදාහරින නිසා කාලය නවත්වා අනාගතය සහ අතීතය දැකීමට ඔවුනට පුළුවන.

යම් හෙයකින් යෝගිවරුන් සහ සෘෂිවරුන් චිත්ත ශක්‌තිය දියුණු කළ විට ඔවුනට ද තුන්කල් දැකීමේ හැකියාව ලැබෙයි.

සිත පුරුදු පුහුණු කරන යෝගියාට තමන්ට අවශ්‍ය අරමුණු කෙරෙහි සිතුවිලි ඒකාග්‍ර කර යොමු කළ හැකිය. චිත්ත බලයෙන් (අතින් නොඅල්ලා) ලෝහ කැබලි නවන යුරි හෙලර් නමැති ඊශ්‍රායල ජාතිකයෙක්‌ වෙයි. ඔහු අනුව යමින් සිත දියුණු කළ ඔහුගේ දියණියටද චිත්ත බලයෙන් හැඳි, ගෑරුප්පු වැනි ලෝහ කැබැලි නැවීමේ හැකියාව මේ වනවිට ලැබී තිබේ. එසේ නම් වඩාත් හොඳින් චිත්ත බලය දියුණු කරන කෙනකුට ගුරුත්වාකර්ෂණයට එරෙහිව කේන්ද්‍රොපසාරි බලවේගයක්‌ ඇති කළ නොහැකිද? එම ප්‍රතිවිරුද්ධ බලය තම සිරුරින් පිටතට යෑවීමට කෙනකුට හැකිනම් ඔහුට පෘථිවි තලයට ඉහළින්, ඊට සමාන්තරව ගමන් කළ හැකි බව න්‍යායයක්‌ වශයෙන් පිළිගත හැකිය.

පුබ්බයියා පුලවර් යෝගිතුමා මෙබඳු තාක්‍ෂණ එකක්‌ හෝ කිහිපයක්‌ ප්‍රගුණ කළ යෝගියෙක්‌ විය හැකිය. උන්වහන්සේගේ ක්‍රියාව අවිද්‍යාත්මක නොවේ. අවිද්‍යාව යනු හේතු ඵල අනුව පැහැදිලි ලෙස විස්‌තර කළ නොහැකි ක්‍රියාවලියයි. එහෙත් චිත්ත ශක්‌තිය යනු ඉතා පැහැදිලි දෙයකි. විද්‍යාත්මකව අර්ථකථනය කළ හැකි දෙයකි. 

(චිත්ත බලයෙන් අහසින් ගිය තවත් අය ගැන කතන්දර ලබන සතියේ කියවමු.)

අනුර සොලමන්ස්‌
2013 මාර්තු 24 ඉරිදා දිවයින