යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

ගෝවේ ඇති දේහය රාහුල හිමිගේමයි

සතුරු සිංහල සේවියර් සෙන්පතිහු යුදපත් වතාවේ
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි මෙතෙක්‌ පහළ වූ අති විශිෂ්ට ගනයේ පඬිරුවනක්‌ යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. උන්වහන්සේ ත්‍රිපිටකයෙහි කෙල පැමිණි බැවින් "ත්‍රිපිටක වාගීශ්වර" යෑයිද සියලුම කලාවන්හි අගතැන්පත් වූ නිසා සකල කලා සව_ඥ යෑයිද භාෂා සයක්‌ මැනවින් දත් බැවින් "ෂඩ් භාෂා පරමේෂ්වර" යන ගෞරව නාමවලින් පිදුම් ලද්දෝ වූහ.
රාහුල හිමි කුඩා කල හදා වඩා ගනු ලැබුවේ සයවන පරාක්‍රමබාහු රජ විසිනි. පැවිදි වූ පසු රහල් හිමියෝ රජුගේ රාජාභිෂේකයෙන් 15 වන වසරේ පරෙවි සංදේශය ද, 34 වන වසරේ කාව්‍යශේඛරය ද, 35 වන වසරේ සැලළිහිණිය ද, 45 වන වසරේ පඤ්චිකා ප්‍රදීපය ද, රජුගේ අභාවයෙන් පසු බුද්ධිපසාදිනිය ද රචනා කරන ලදී. පඤ්චිකා ප්‍රදීපය, පාලි ව්‍යාකරණ පිළිබඳ ග්‍රන්ථයක්‌ වන අතර එයින් රාහුල හිමිගේ මහත් වූ පරිණත සහ උදාර වූ බුද්ධිය පිළිබිඹු කරයි. එහි සඳහන් පෘථුල සාහිත්‍යය, සංස්‌කෘත සහ පාලි උපුටන සමුදාය සත්‍ය වශයෙන්ම විශ්මයජනකය. එහි අන්තර්ගතව ඇති අසූ දෙනකුට අධික දාර්ශනිකයන්ගේ උපුටා ගැනීම් සම්ප්‍රදායෙන්ම උසස්‌තම විශිෂ්ට කෘතීන් කොපමණ රාශියක්‌ ඔහු විසින් හදාරා ඇත්දැයි සනාථ වෙයි. 
රාහුල මාහිමි "වෙද හාමුදුරුවෝ" යනුවෙන්ද හඳුන්වා තිබිණ, පුරාවෘතයකට අනුව මාහිමි සතුව විවිධ රෝගාබාධ සඳහා වූ බලගතු තෙල් වර්ග තිබිණ. උන්වහන්සේගේ ඖෂධ පිළිබඳ ඥනය විශ්මයජනකය. සංස්‌කෘත භාෂාව පිළිබඳව තිබූ හසල දැනුම හේතුවෙන් භාරතීය වෛදික වෛද්‍ය ග්‍රන්ථ රාශියක්‌ කියවා ලබාගත් ඥනය මෙරට අත්දැකීම් සමග මුසුවීමෙන් උන්වහන්සේ මෙරට පහළ වූ උසස්‌ම පන්තියේ වෛද්‍යවරයකු වූවාට නිසැකය. රහල් හිමි යම් යම් වතාවත් කරන ලද බවත්, ඉන්පසු විශ්මයජනක ලෙස රෝගීන් සුවපත්ව ඇවිද ගිය බවත් පවතින විශ්වාසයයි. එසේම උන්වන්සේ අපවත් වන්නට මොහොතකට පෙර "සිදු අලු රසය" නම් ශක්‌ති සම්පන්න ඖෂධයක්‌ පානය කළ බවද, ඒ හේතුවෙන්ම මෘත දේහය නරක්‌ නොවී දින දශ ලක්‍ෂයක්‌ තබා ගැන්මට හැකි විය යන්නද විශ්වාස කරනු ලැබේ. 



ක්‍රි. ව. 1505 දී පෘතුගීසිහු ලංකාවට පැමිණි අතර, අනතුරු වර්ෂයන් සිංහල සාහිත්‍යයට පමණක්‌ නොව බුදු දහමට ද අතිශයින් අඳුරු කාල පරිච්ඡේදයක්‌ විය. රටේ දේශපාලන තත්ත්වය අස්‌ථාවර වූ අතර, රජවරු තම තමන්ගේ බලය ලබාගැනීම සඳහා පෘතුගීසීන්ගේ උදව් පැතූහ. පෘතුගීසීන් අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් අතර ධර්මපාල කුමරු කතෝලික ආගම වැළඳගත් දොන් ජුවන් ධර්මපාල නමින් කෝට්‌ටේ රජ විය. පෘතුගීසීන් විසින් තම පාලන කාලය තුළ ඉතා දුෂ්ට ලෙස බෞද්ධයෝ කතෝලික ආගමට හරවන ලදහ. රජතුමා අකාර්යක්‍ෂම සහ ජාතිය කෙරෙහි කිසිදු ඇල්මක්‌ නොමැති වූ හෙයින් පෘතුගීසිහු සියලුම පන්සල් විනාශ කර කොල්ලකා, දහම්, සාහිත්‍ය වියරණ පොත පත ගිනිබත් කළහ. රහල්හිමිගේ ප්‍රතිභාව ගැන සලකා බලන කල්හි උන්වහන්සේ, දැනට ප්‍රකටව ඇති ග්‍රන්ථ 5 ට අමතරව, දර්ශනය, ව්‍යාකරණ, සිංහල සාහිත්‍ය යනාදිය සම්බන්ධයෙන් තවත් බොහෝ ග්‍රන්ථ රැසක්‌ අනිවාර්යයෙන් ලියා ඇති බව නිසැක නමුත් ඒ සියල්ල ද දුෂ්ට පෘතුගීසීන් අතින් විනාශයට පත් වන්නට ඇති බැව් හැඟෙන විට ඇති වන්නේ මහත් සංවේගයකි. 
එසේ නම් මෙසේ ලක්‌දිව ඉතා ප්‍රකට, ජනප්‍රිය පඬිවරයෙකුගේ දේහය, අපවත්වූ පසු ඉන්දියාවේ ගෝවේ නගරයට ගෙන ගියේ කෙසේද? එසේ ගෙන යාම සඳහා උන්වහන්සේ අපවත්වී වදාළේ කොහිද? දේහය පෘතුගීසීන් විසින් රැගෙන යනකල් සිංහලයෝ අත්වැල් බැඳගෙන උන්නාද? රජකෙනකුගේ සෙනෙහසින් හැදුනු වැඩුනු රජුගේ රැකවරණය ලැබූ පඬිරුවනකට මෙවන් අභාග්‍ය සම්පන්න ඉරණමක්‌ අත්විය හැකිද? එසේම මෙවන් මහා අපරාධයක්‌ කිරීමට, එනම් ශ්‍රී රහල් දේහය ගෝවේ නගරයට වැඩි කලබලයක්‌ නොමැතිව ගෙන යාමට, සුදුසු දේශපාලන වාතාවරණයක්‌ රටතුල තිබුණේද? මෙවන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම දේහය පිළිබඳ නියම තතු දැනගැන්මට ඉහවල්වන බැවින් අප මඳක්‌ ඒ පිළිබඳව ප්‍රථමයෙන් සොයා බලමු.

රාහුල හිමි අවසාන කාලයේ සිටියේ කොහිද?

සැළලිහිණි සංදේශයේ රාහුල හිමි විභීෂණ දෙවියන්ට කන්නලව්වක්‌ කරයි. එනම් සයවන පරාක්‍රමබාහු රජුගේ දියණිය වූ උලකුඩය කුමාරියට (එනම් ලෝකනාථ කුමාරිට) පුතෙක්‌ ලබාදෙන ලෙසයි. මෙම පුත් කුමරුවා එනම් ජයබාහු කුමරු රජුගේ අභාවයෙන් රජ වූවාට පසු සපුමල් කුමරු ඔහු මරා සයවන බුවනෙකබාහු නමින් රජවිය. සපුමල් කුමරු තුන්වරක්‌ම ජයබාහු ඝාතනය කිරීමට තැත්කළ අතර රාහුල හිමි ඒ ඝාතන කුමන්ත්‍රන තුනම වැළැක්‌වූ නමුත් සිව්වන වර උන්වහන්සේට ජයබාහු බේරා ගැනීමට නොහැකිවිය.
තමා හදාවඩා ගත් සයවන පරාක්‍රමබාහුගේ මුණුපුරාවූ ජයබාහුගේ ඝාතනයෙන් පසු මහත්සේ කලකිරීමට සහ ශෝකයට පත් රාහුල හිමි හුදකලා ජීවිතයක්‌ ගත කරනු වස්‌ විජයබා පිරිවෙන හැරදමා ගාලු දිස්‌ත්‍රික්‌කයේ ඇල්පිටියට නුදුරු "අම්බත" නම් ගුහාවක තම අවසාන කාලය ගෙවූ බව වාර්තා වේ. එසේ හුදකලාව සිටීමට තීරණය කළේ සයවන බුවනෙක බාහුගෙන් උන්වහන්සේට ජීවිත තර්ජන තිබූ නිසාද විය හැක. කෙසේ නමුත් රාහුල හිමි අපවත්වීමට පෙර අම්බතහි විසූ ගල්ගුහාවෙහි එතුමාගේ දේහය තබා තිබූ ගල් ඇඳ රඳවා තිබූ ගල් කණු අද පවා දක්‌නට තිබේ.
රාහුල හිමි අවසාන කාලයේ හුදකලාව සිටි බවට සහ කිසිම රාජ්‍ය උත්සවයකට සහභාගි නොවූ බවට තවත් වැදගත් සාධකයක්‌ බුරුමයේ සේගු නගරයේ ඇති කල්‍යාණ ශිලා ලිපි සාක්‍ෂි දරයි. සයවන බුවනෙකබාහු සමයේ (සපුමල්කුමරු) බුරුමයේ ධම්මෙච්තිය රජ විසින් මොග්ගල්ලාන නම් භික්‍ෂුව ඇතුළු භික්‍ෂූන් 22 නමක්‌ ලංකාවට වැඩම වූ බවද ඔවුන් කැලණියේ කල්‍යාණි සීමාවේදී උපසම්පදාව ලබා නැවත බුරුමයට ගිය බවත් එහි සඳහන්වේ. ඒ සඳහා ලංකාවේදී සහභාගීවූ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලා 4 නමකගේ, එනම් වීදාගම තෙරණුවෝ, ධම්මකිත්ති තෙරණුවෝ, වනරතන තෙරණුවෝ සහ සිහල රාජ මහාතෙරණුවෝ නම් සඳහන් වන අතර එකල විසූ සුප්‍රසිද්ධ තෙරනමක්‌වූ ශ්‍රී රාහුලගේ නම් සඳහන් නොවේ. නමුත් සයවන පරාක්‍රමබාහු කල පැවැත්වූ වැදගත් ආගමික උත්සවයන්හි ප්‍රධාන තැනක්‌ ඉසිළුවේ රාහුල හිමිවන අතර පෙර කී කළ්‍යාණි ශිලා ලිපියේම එය සඳහන් වෙයි. බුවනෙකබා රජ දවස රාජකීය අනුග්‍රහයක්‌ ලත් උත්සවයකට රාහුල හිමි සහභාගී නොවීමෙන් පෙනෙනුයේ පරාක්‍රම රජුගේ මුණුපුරු ජයබාහුට කරන ලද අසාධාරණය නිසාම ඔවුන් අතර දැඩි විරසක බවක්‌ තිබූ බවය. තවද රහල් හිමි සාමාන්‍ය ජනතාව ඇස නොගැටෙන හුදකලා ස්‌ථානයක ජීවත්වූ බවටද එය හොඳ සාක්‍ෂියකි.
එසේම පරම්පරා ගණනක්‌ තිස්‌සේ මුවින් මුව ගලා ආ ජනකවි 2 කින්ද රාහුල හිමි හුදකලාව ජීවත්වූ බවක්‌ උන්වහන්සේගේ දේහය පෘතුගීසීන් විසින් ගෝවේ නුවරට ගෙනගිය බවත් තවදුරටත් සනාථ වේ.

සොඳුරු රාහුල අපත්වී සක දහස සිව් සක තෙලෙස්‌ වේ

ඉසුරු නරනිඳු සවැනි බුවනෙකබාහු සපුමල් රෝස වේ

සතුරු කම් කළ නිසා තෙරිඳුට වැඩිය ගල්ලෙන දිසා වේ

ඇදුරුගේ දෙන ලෙනින් ගත් දින දනෝ යුද කළෙ ඒ නිසා වේ

ආදරණීය රහල් හිමි අපවත් වූයේ ශක වර්ෂ 1413, එනම් ක්‍රි.ව.1413Ý78-1491 දීය. සවැනි බුවනෙකබාහු තෙරිඳුට සතුරුකම් කළනිසා හිමි ගල්ලෙනට වැඩියහ. උන්වහන්සේගේ දේහය ගල්ලෙනින් පිටතට ගත් දින ජනතාව එයට විරුද්ධව යුද්ධ කළෝය.

සතුරු සිංහල සේවියර් සෙන්පතිහු යුද පත් වතාවේ

ඉඳුරු ගල්ලෙනෙහි යක්‌ සෙන් ඇසුරු කර සිටියෙහි මනාවේ

මිතුරු ජපකළ දහසකට කල් පවතිනා තුරු කරපු ජීවේ

මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස්‌ තැබුවෙ "ගෝවේ"

සෙන්පති සේවියර් සිංහලයාට සතුරුව යුද වැද සිටියහ. රහල් හිමිගේ දේහය මන්ත්‍ර ජපකොට යක්‍ෂයන් විසින් ආරක්‍ෂා කරමින් සිටියහ. දහසක්‌ කල් තබා ගැනීමට ජීවම් කර තිබූ රහල් හිමිගේ මළ සිරුර උන් ගෝවේ නගරයට රැගෙන ගොස්‌ තැබූහ.
ජනප්‍රවාද අපට අවඥවෙන් බැහැර කළ නොහැක. ජනප්‍රවාදයෙන් සහ ඉහත සාක්‍ෂි වලින් පෙන්වනුයේ රාහුල හිමි අවසන් කාලය ගෙවූයේ ඉතා හුදකලාව බවය. එසේම එක්‌ කවියකින් කියෑවෙන්නේ එම දේහය ගෝවේට ගෙනගිය බවය. රාහුල හිමි අම්බෙන වාසය කළ බව සනාථ වන තවත් කරුණු සහ දේහය ගෙන යාම පිළිබඳ විස්‌තර ඉදිරියේ සඳහන් කරමු.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිරිපා අඩවියේ අභිරහස් ඇත් සොහොන

ශ්‍රී පාද අඩවිය ගෞතම ශ්‍රී සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටා ඇතිවා සේම ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. අප විසින් දක්වා සිටින්නේ එවැනි අභිරහසක් පිළිබදවයි.

1940 ට ආසන්න කාලයේ ශ්‍රී පාද අඩවියට ඉහළින් පියාසර කරමින් තිබූ ගුවන්යානයක් කාර්මික දෝෂයක් නිසා කඩා වැටිණි. යානයේ ගමන් කළ තිදෙනෙක් අනතුරේදී මිය ගියහ. අනතුරින් කම්පනයට පත්ව සිටි නියමුවා පැය කිහිපයකට පසු යානයෙන් බිමට බැස ගන වනාන්තරය මැදින් මිනිස් පුළුටක් සොයා ගමන් කරන්නට විය. කම්පනය හා තද පිපාසය ඔහු දුරු කර ගත්තේ ඉදුණු පලතුරු කෑමෙන් හා නිතර ගලාගිය සීතල පවිත්‍ර ඇළ ‍දොළවලින් ජලය පානය කිරීමෙනි. අරමුණක් නැතිව අසීරුවෙන් ඇවිද යන ඔහුට එක් තැනිතලා බිමක අක්කර ගණනාවක් විහිද ගිය අලි ඇටකටු, ඇත්දත් විසිර ගිය භූමියක් දක්නට ලැබිණි. ඒ වටා තිබුණේ සරුවට ගහකොළ වැඩී ගිය ගන වනාන්තරයයි. වනාන්තරය කෙළවර තැනිතලා සම භූමිය පැතිර තිබිණි. ඒ අසල ගලායන ජල පහරක් ද විය.
තැනිතලාව පුරා විසිර තිබූ ඇටසැකිලි, දිරාගිය ඇටසැකිලි හා ඇත්දළ අනුව එය ඇතුන්ගේ සුසානයක් බව ඔහුගේ සිතට අවබෝධ විය. ඔහු බොහෝ වේලා එය නිරීක්‍ෂණය කළේය.
දින ගණනාවක් ඉබාගාතේ කැලෑවේ ඇවිද ගිය ඔහුට ජනාවාසයට යා හැකි වූයේ තවත් දින ගණනාවකට පසු ඉතා වෙහෙසකර දිගු දුරක් පයින් ඇවිදීමෙනි. ගම්මුන්ගෙන් කෑමබීම, ප්‍රතිකාර, අත්උදව් ලැබී සුවපත් වූ ඔහු පසුව තම අත්දැකීම් ගැමියන්ට හා පුවත්පතකට කියා සිටියත් ආපසු එම ඇත් සොහොන සොයා යෑමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ භූමිය පිහිටි ස්ථානයට යන ගමන් මාර්ගයද සිතේ අවුල් තත්ත්වය නිසා මඟහැරී ගොස් තිබිණි. කාලය සමඟ ඔහු දුටු අත්දැකීම යටපත් වී ගියේය. ශ්‍රී පාද අඩවියේ අලි ඇතුන්ට සීමා වූ ගුප්ත සුසාන භූමියක් ඇති බවත් වියපත්ව මරණ ඉව දැනෙන අලි ඇතුන් ඒ සුසාන භූමිය කරා පැමිණ ඇද වැටී මිය යන බවත් ශ්‍රී පාද අඩවිය අවට පැරැණි ගැමි කතා හා ජනකතාවල කියැවෙයි. ඒ අනුව එය ඇතුන්ට සීමා වූ රහසක්ම විය.
ශ්‍රී පාද අඩවිය අති පූජනීය පවිත්‍ර ගුප්ත භූමියකි. සමන් දෙවිඳුන්ගේ වාහනයද ඇළි ඇතෙකි. වනාන්තර සරුවට වැඩී වන විනාශයක් නොතිබුණු එකල ලංකාව පුරා විසිර සිටි හෝ මැදරට හා ඒ අවට පැතිර සිටි දහස් ගණන් ඇතුන්ට ජීවත්වීම, අලිමංකඩ පිළිබඳ ගැටලු මතුවූයේ නැත. ගන වනාන්තරය මැද අවශ්‍ය තරම් ආහාර ඇතිව නිරෝගී ඇත්තු දීර්ඝායුෂ වින්දාහ. වනයට හානි, ගහකොළ කැපීම්, අලිමංකඩ ඇහිරීම් සිදුවූයේ නැත. ඒ නිසා සුවසේ ජීවත්ව ආයුෂ නිමාවී ගෙන එන බවට ඉව වැටෙන විට තමන්ගේ පරපුරේ සොහොන් බිම වෙත තනිව පැමිණීම හෝ රැළේ අත් උදවුකරුවන් සමඟ පැමිණීම සිදුවිය. ඒ සොහොන් බිම අවටද ආරක්‍ෂාව, ආහාර, ජලය ප්‍රමාණවත්ව තිබූ බැවින් ඉතිරි කාලය ජීවත්වීම පිළිබඳ ගැටලු මතුවූයේ නැත.
අවුරුදු දහස් ගණනක් ශ්‍රී පාද අඩවියේ තිබූ එම ගුප්ත ඇත් සොහොන උන්ගේ පරපුරටම සීමා වූ රහසක් විය. ඒ කාලවල ශ්‍රී පාද කඳුවැටිය ද ඒ අවට සියලු පරිවාර වනාන්තරද අලි ඇතුන්ගෙන් ගහන විය. එමෙන්ම ශ්‍රී පාද අඩවියට යාව පිහිටි සිංහරාජ තෙත් වනාන්තරය අවට සියලු පරිවාර වනාන්තර අවට අලි ඇතුන්ගෙන් පිරී පැවතිණි. අෑත සිට පැමිණි සංක්‍රමණික අලින් හා රංචුවලින් ඉවත් වූ හා ඉවත් කළ තනි අලිද මේ සීමාවේ නිදහසේ ජීවත් වූහ. ඒ නිසා ඇත් සොහොන ජීවමාන සත්‍ය යථාර්ථයක් විය.
අතීතයේ වෙසක් පසළොස්වකට පසු අවාරයේ ශ්‍රී පා නොයෑමට වන්දනාකරුවන් පෙලඹුණේද මිනිස් පුළුටක් නැති අවාරය, හරස් අතට වහින තද වැහි, එක දිගට දින ගණනක් අල්ලා සිටින වර්ෂාව, ඇඟකිලිපොළන දැඩි සීතල, තද මීදුම, හෙණ පිපිරීම්, අකුණු සමඟ රෑ දවල් දින ගණන් වර්ෂාව පැවතීම, වර්ෂාවට ශ්‍රී පාදයට යන පඩිපේළි, මංමාවත් යට කරගෙන අඩි ගණනක් උසට බොර වතුර කඳක් අවාරයට එකතු වීම සිදුවූ බැවිනි. අවාරය සමඟ ශ්‍රී පාද අඩවිය අෑත සිටින අලි ඇතුන්ගේද නිදැල්ලේ යන එන ගැවසෙන භූමියක් විය. එහෙත් මේ තත්ත්වය වෙනස් වූයේ කෙසේද? ඇත් සොහොන විනාශව ගියේ කෙසේදැයි අපි දැනගත යුතුය.
ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසු 1835 පමණ උඩරට පුරා කෝපි වගාව පැතිරෙන්නට විය. බ්‍රිතාන්‍යයේ සිට කෝපි වැවීමට වගාකරුවෝ ලංකාවට පැමිණ අක්කරයක් සිලිම් දෙක වැනි ඉතා සුළු මුදලකට මිලදී ගත්හ. 1848 මුඩුබිම් පනත යටතේ තමාට නීත්‍යනුකූල ඔප්පුවකින් පෙන්විය නොහැකි සියලු ඉඩම් මුඩුබිම් පනතින් රාජසන්තක විය. උඩරැටියෝ උඩරට කැරලිවලින් පසු සරුසාර ගම් අත්හැර වඩාත් ආරක්‍ෂාකාරී කඳු ප්‍රපාත කරා ගොස් ජීවත්වීමට වූහ. මේ සමඟ යුරෝපයෙන් පැමිණි වගාකරුවෝ රජයෙන් කුණු කොල්ලෙට ගත් ඉඩම්වල දකුණු ඉන්දීය කම්කරුවන් ගෙන්වා කැලෑ එළිකොට කෝපි වතු ආරම්භ කළහ. සමකාලීන සමාජය වටා ලියැවුණු "තිත්ත කෝපි" වැනි ඉංග්‍රීසි නවකතාවලින් මේ ශෝකජනක කතාන්දරය මෙන්ම වතුකරුවන් මුහුණ පෑ ගැටලු විවරණය වෙයි.
සිංහලයන් අත්හැර ගිය පැරැණි උඩරට ගම්මාන - මුඩුබිම් පනත යටතේ පවරාගත් ගැමියන්ගේ ඉඩම් හා රජයේ කැලෑ එළිකොට කෝපි වගාව ආරම්භ විය. ඒ සමඟ කැලෑ විනාශය, දේශගුණික වෙනස්වීම්, ඇළ‍දොළ, දිය ඇලි සිඳීයෑම, අලි ඇතුන් වඳ වී යෑම සිදුවිය. සිංහරාජය, ශ්‍රී පාදය වටා පැතිර තිබූ පරිවාර කැලෑ මෙන්ම මේ පූජනීය ආරක්‍ෂිත කැලෑබිම් විශාල කොටසක්ද කෝපි වගාව සඳහා එළිපෙහෙළි විය. නිදැල්ලේ කැලෑවල හැසිරුණු අලි ඇතුන් දඩයම වතුකරුවන්ගේ එක් විනෝදාංශයක් විය. විනෝදය සඳහා අලින් සිය ගණන් - දහස් ගණන් මරා දැමීම සිදුවිය. මේ සමඟ නිදැල්ලේ ගැවසුණු අලි පරපුර වඳ වී යෑම ආරම්භ විය. හැටන්, ශ්‍රී පාද අඩවිය, සිංහරාජය, සාමිමලේ වැනි ඒ කඳු පාමුල ජීවත් වූ අලි ඇත්තු මෙන්ම ගවයන්ද වතුකරුවන්ගේ තුවක්කුවලට බිලි වූහ. මේ නිසා ඇත් සොහොන ක්‍රමයෙන් පාළුවීම ආරම්භ විය.
සුද්දන් ආදර්ශයට ගත් දේශීය ධනපතියෝද කෝපි වගාව ආරම්භ කළහ. 1875 පමණ කෝපි වගාව බිඳවැටුණු පසු සින්කෝනා, තේ, රබර්, පොල්, කෝකෝවා, ගම්මිරිස්, උඩරට දේශීය වගාව පැතිර ගියේය. සුදු ජාතිකයන් අතර වඩාත් පැතිර ගියේ තේ වගාවයි. ඉතිරිව තිබූ කැලෑ නගර සීමාවන් කඳුමුදුන් දක්වාම කැලෑ එළිකොට තේ වගාව පැතිර ගියේය. ඒ සමඟ ඉතිරිව සිටි අලි ගහනයද ක්‍රමයෙන් අඩුවන්නට විය.
ඇත්ගාල් කරවීම, විකිණීම සඳහා මදු ගසා හෝ ඇත්ගාල් මඟින් කැලෑ අලින් අල්ලා ගැනීම සිදුවිය. මඩකළපුව අවට විසූ "මට්ට" යනුවෙන් හඳුන්වන මුස්ලිම් ජන කොටස මදු ගසා අලින් ඇල්ලීමට ප්‍රකට විය. අලින් අල්ලා රට යැවීම ඉංග්‍රීසීන්ගේ එක් ආදායම් මාර්ගයක් විය. අල්ලා ගත් අලින් හීලෑ කිරීමේදී සිදුවන තුවාලවලින් බොහෝ දෙනා මිය ගියහ. පනාමුරේ ඇත්ගාලට පසු ඇත්ගාල් කරවීම අත්හිටුවිණි. මේ නිසා 1850 පසු ශ්‍රී පාදය අවට තිබූ ගුප්ත ඇත් සුසාන භූමියට ඇදී එන අලි ප්‍රමාණය බෙහෙවින් අඩුවීමට විය. 1850 පසු ක්‍රමයෙන් වනාන්තර ප්‍රමාණය අඩු වූ අතර ජනගහනය වැඩිවීම සිදුවිය. පරිවාර වනාන්තරවලින් අලි ඇතුන් වඳවීම ආරම්භ විය. ගම් යාව තිබූ වනාන්තර ගම්මුන් විසින් බලෙන් අල්ලා ගනු ලැබීමෙන් හා ගම් පුළුල් කිරීම් යටතේ ජනපද ඉඩම් ලෙස ගැමියන් අතර බෙදාදීමෙන් කැලෑ ඉඩම් තවත් අඩුවිය. දඩයම්කරුවෝ අතින් තව තවත් අලි ඇත්තු මරණයට පත්වූහ. ශ්‍රී පාදයට ඇදී එන පිරිස් හැටන් දුම්රිය පාර ආරම්භ වීමෙන් දෙගුණ තෙගුණ වූහ. 1940 වන විටත් ශ්‍රී පාදය අවට ගුප්ත ස්ථානයක පිහිටි ශ්‍රී පාදයේ ඇත් සොහොන අභාවයට ගිය බව කීම සාධාරණය.
අද වන විට ශ්‍රී පාද අඩවියේ ඉතිරිව ඇත්තේ දහතුන් දෙනකුගෙන් පමණ යුත් කුරු අලි රංචුවකි. ශ්‍රී පාද වන්දනා කාලයට එම සත්තු මිනිස් පුළුටක් නොදැනෙන ශ්‍රී පාද සීමාවේ අෑත කෙළවරවල සැරි සරති. ඉන්දුනීසියානු ගුවන් අනතුර සිදුවූ සප්ත කන්‍යා හෙවත් හෙබර්ටන් කඳු අඩවියේ ලක්‍ෂපාන දියඇල්ල ආශ්‍රිතව මේ කුරු අලි රංචුව අවාරයට ගැවසෙන බව දුටුවන් ප්‍රකාශ කරයි.
සිංහරාජයේ ඉතිරිව ඇත්තේ එකම රැළක ඇතුන් තිදෙනෙකි. එකම රැළ තුළ උන්ගේ පැටවුන් ඇති නොවෙයි. මේ අනුව අතීතයේ සිට 1900 පමණ වනතුරු ශ්‍රී පාද අඩවියේ රහසිගත බිමක ගුප්ත ඇත් සොහොනක් තිබූ බව පිළිගැනීම නිවැරැදිය.
ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මරණයෙන් පසු සිදු වන්නේ කුමක් ද?

මා පසුගියදාක මෙල්බර්න්හි සිටියදී එහි පැමිණි කෙනෙක් “ඔබේ මරණයෙන් පසු ව ඔබට සිදු වන්නේ කුමක්ද?” යන මාතෘකාවෙන් දේශනයක් පවත්වන ලෙස මගෙන් ඉල්ලීමක් කළා. භාවනා කරන විට, විශේෂයෙන් ගැඹුරු භාවනාවන්හි නිතර වූ විට ඔබට ඔබේ මනස ක්‍රියා කරන්නේ කොහොමද? විශේෂයෙන්ම මනස, ශරීරයට ප්‍රතික්‍රියා දක්වමින් ක්‍රියා කරන්නේ කොහොමද? යන කාරණා පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වෙනවා. අවුරුදු ගණනාවක් භාවනාවේ නිරත වූ කෙනෙකුට සිදු වන්නේ කුමක්ද? මනසේ ස්වභාවය කුමක්ද? ශරීරයේ ස්වභාවය කුමක්ද කියා අවබෝධයක් ලබාගන්නට පුළුවන් වෙනවා.
පසුගිය අවුරුදු කිහිපය තිස්සේම මම මෙවැනි අවබෝධයක් ලබාගැනීමට උදවු වන භාවනා ක්‍රම ඉගැන්වීමේ නිරතව සිටියා. ධ්‍යාන වැඩීමේදී නැත්නම් ඉතා ගැඹුරු භාවනාවන්හි නිරතව සිටින විට ඔබට ඔබේ මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මනා වැටහීමක් ලබාගත හැකි වෙනවා.
මේ හැර ඔබේ මරණයෙන් පසු ඔබට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ සාක්ෂි පාදක කරගත් යම් යම් අනාවරණ තිබෙනවා. තාවකාලිකව මරණයට පත් වී, මනස සිරුරෙන් වෙන් වී, ආපසු මනස සිරුරට එක් වූ තැනැත්තන් එම විරාමය නැත්නම් මරණය හා නැවත ප්‍රාණය ලැබීම අතර කාලයේ ලත් අත්දැකීම් පිළිබඳ අනාවරණවලින් මරණයෙන් පසුව සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධ කරගැනීමට අප්‍රමාණ සාක්ෂි තිබෙනවා. ඒ හැර ස්වල්ප දෙනෙකුට ඔවුන්ගේ පෙර ජන්මය පිළිබඳ මතකයන් තිබෙනවා. මෙය සමහර විට සමහරුන්ට නිරායාසයෙන් ලැබෙන්නක් හෝ තවත් සමහරුන් පුහුණු කිරීමෙන් ළඟා විය හැකි තත්ත්වයක්.
ඔබේ මරණයෙන් පසු ඔබට සිදු වන්නේ කුමක්ද? කියා දැනගැනීමට ඉවහල් වන මෑතකාලීන සාක්ෂි තිබෙනවා. ඒවා අනතුරකට භාජනය වී, නැත් නම් ශල්‍යකර්මයක් අතරතුරදී තාවකාලිකව මරණයට පත් වී පසුව නැවත ප්‍රාණය ලැබූ අය තමන්ගේ මරණය පිළිබඳ දක්වන අත්දැකීම්. ශරීරය තවකාලිකව මරණයට පත් වූවත් මේ ඇත්තන්ගේ මනස ශරීරයෙන් වෙන් වී ගොස් සිදු වෙමින් පවතින දේවල් නිරීක්ෂණය කිරීමට හැකි වීමෙන් පසු නැවත මනස සිරුරට එක් වී ජීවත් වීමට වාසනාව ලැබූ අයයි. මේ තැනැත්තන් සිය තාවකාලික මරණය පිළිබඳ දක්වන අත්දැකීම් මෙහිදී වැදගත් වෙනවා. ජීවිතයේ පසු වුණ විවිධ අවස්ථාවල මෙසේ තාවකාලික මරණයට පත් වී නැවත ජීවත් වීමට අවස්ථාව ලැබූවන් පවසන කතාන්දරවලින් කියවෙන්නේ එකම දේවල්ය. මේ සියලු කරුණු එකතු කොට ඔබේ මරණයෙන් පසුව ඔබට සිදු වන්නේ කුමක්ද යන දේශනය පැවැත්වීමට මා බලාපොරොත්තු වෙනවා.
මරණයෙන් පසුව ඔබට සිදු වන්නේ කුමක්ද වැනි කාරණා විමසා බැලීම අපට ප්‍රයෝජනවත් වන්නේ ඇයි? මේ වගේ දේවල් මගින් කලින් කලට අපේ ජීවිතය පිළිබද ආකල්ප පුළුල් වෙනවා. ජීවිතය පිළිබඳව වඩාත්ම වැදගත් වන්නේ අපේ ආකල්පයි. මෙහිදී අප උගන්වන්නේ මෙවැනි කරුණුයි. ඒවා ව්‍යවහාරයට පැමිණි විට ඔබ මරණයට පත් වූ පසු ඔබට සිදු වන්නේ කුමක්දැයි දැනගැනීමට ප්‍රයෝජනවත් වෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් හා අත්දැකීමක් ලබාගත් විට ජීවිතයේ ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයකට සාර්ථකව ප්‍රතික්‍රියා දක්වන්නට හැකි වෙනවා; ජීවිතය දිහා සුන්දර ලෙස ඒ වගේම සුබදායකව හෙවත් ධනාත්මකව බලන්නට ඔබට හැකි වෙනවා.
දැන් අපි ආපසු අපේ මාතෘකාවට පිවිසෙමු. අපි ඔබ මරණයට පත් වීමට ආසන්නව ඔබට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව මූලිකව විමසා බලමු. මරණයෙන් පසුව සිදු වන්නේ කුමක්ද කියා ඊට පසුව විමසා බලමු.
ජීවිතය කියන්නේ අඛණ්ඩ ගමනක්. ඔබ රාත්‍රියේදී නින්දට ගොස් පසුදා උදේ අවදි වන විට උදේ අවදි වුණේ රාත්‍රිය නිදාගන්නට ගිය පුද්ගලයාමයි. සමහර විට නින්දට යන්නට පෙර සිටියාට වඩා තරමක් වයස්ගත වී තිබුණත් උදේ අවදි වන්නේ රාත්‍රි නින්දට ගිය තැනැත්තාමයි. ඔබ මරණයට පත් වූවාට පසුවත් සිදු වන්නේ මෙයම තමයි.
අප මරණයට පත් වීමට ආසන්නව සිදු වන්නේ කුමක්ද කියා විමසීමේදී මා මෙහිදී අවධානය යොමු කරන්නේ අනතුරකින් නැත්නම් ශල්‍යකර්මයක් මැද සිදු වූ හදිසි මරණයක් ගැන නොව, අසනීපයකින් වියපත් වීමකින් නැත්නම් රෝගාතුර වීමක් වැනි දෙයකින් සිදු වන සෙමෙන් මරණයට පත් වීමක් ගැනයි. එය සිදු වන්නේ අපේ පංචේන්ද්‍රියේ, ඒ කියන්නේ ඇසින් දැකීම, කනින් ඇසීම, නාසයෙන් සුවඳ දැනීම, දිවට රසය දැනීම, කයෙන් පහස ලැබීම ආදිය එකිනෙක අකර්මණ්‍ය වීමෙන් නැත්නම් ශරීරයේ වෙන් වීමෙන්. බෞද්ධ භික්ෂුවක් විදිහට බොහෝ දෙනෙකු මරණාසන්නව සිටි අවස්ථාවලදී මරණය සිදු වන්නේ කෙසේදැයි දැක බලාගැනීමට මම භාග්‍යවන්ත වී සිටිනවා.
මෙය බෞද්ධ භික්ෂුවක විදිහට අත්විඳින්න ලැබෙන හරිම සිත්කාවදින අත්දැකීමක්. භික්ෂුවක් විදිහට මේ වගේ දුර්ලභ අත්දැකීම් ලබාගන්න ඉඩකඩ ලැබෙන නිසා මේ භික්ෂු ජීවිතය මම මහත් සේ අගය කරනවා. ඒ අතර එහි අගය ගැන සහතික කර කියන්න මට පුළුවන් වෙනවා. මරණයට ආසන්න වූවන්ගේ කටයුතුවලට භික්ෂුවක් විදිහට සහභාගි වීමට නිරතුරුවම මට අවස්ථාව ලැබෙන අතර, ඉන් ලැබෙන අත්දැකීම් හරිම අපූරුයි.
මරණය සිදු වන්නේ, විශේෂයෙන්ම වියපත් වූවකුගේ, රෝගාතුර වූවකුගේ, එහෙම නැත්නම් කිසියම් ලෙඩක් නිසා මරණාසන්න වූවකුගේ මරණය සිදු වන්නේ සෙමෙන්. මම මුලින්ම මේ විදිහට සිදු වන මරණ දැක්කම, මරණය සිදු වන්නේ මෙන්න මේ වේලාවටයි, අටටයි නැත්නම් නමයටයි කයා කියන්න බැරි, මිනිත්තු ගණනක් තිස්සේ සිදු වන ක්‍රියාවලියක් විත්තිය මට තේරුණා. මේ ක්‍රියාවලිය පටන් අරගෙන සෙමෙන් සෙමෙන් අවසානයට පත් වනවා. හිටිහැටියේ සිදු වන දෙයක් නොව, ක්‍රියාවලියක්යැයි මා කියන්නේ මේ නිසයි. මෙය මුළු ජීවිතයම තේරුම් ගැනීමට බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. මරණය යනු ක්‍රියාවලියක් මිස සිදුවීමක් නොවෙයි.
මෙය තේරුම් ගත් විට මරණය සිදු වන ක්‍රියාවලියේ අවසානය සිදු වන්නේ ඇසීම, දැකීම, ගඳ සුවඳ දැනීම, ස්පර්ශය, රස විඳීම යන පස් ඉඳුරන්ගේ අතුරුදන් වීම, අවසාන වීම සමග බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. තව විදියකින් කිව්වොත් තවත් ඉතින් ඇසීමක්, දැකීමක්, ගඳසුවඳ දැනීමක්, රස විඳීමක්, ස්පර්ශයක් සිරුරට දැනෙන්නේ නැහැ. කෙනෙකු මරණයට පත් වූ බව අප දැනගන්නේ මෙන්න මෙහෙමයි.
ඒත් අපි කෙනෙක් මැරුණාය සිතමින් හඬාදොඩා වැලපෙද්දිත් ඔහු හෝ ඇය තවමත් ජීවත් වෙමින් සිටින්න පුළුවන්. අපි ඒ නැතැත්තා මරණයට පත් වූවායැයි තීරණය කළත්, හෙදියන් නැත්නම් වෛද්‍යවරුන්ට මරණය කරා ආසන්න වෙමින් සිටින තැනැත්තාගේ ඇස්වල ජීවයක් දකින්න පුළුවන් වෙන්න ඉඩ තිබෙනවා.
භාවනාව තුළින් මා වටහාගත් එක් දෙයක් තමයි, භාවනාවේදී සිදු වන්නේ මෙන්න මේ ක්‍රියාවලියමයි කියන-එක. භාවනාවේ ගැඹුරට යන විට ඔබේ සිරුරෙහි පස් ඉඳුරන්ම සිරුරෙන් අතුරුදන් වෙනවා. ඔබ භාවනාව සඳහා හිඳගත් විට ඔබට මේ වගේ අත්දැකීමකට ආසන්න අත්දැකීම් අත්විඳින්න පුළුවන් වෙනවා. ටිකෙන් ටික ඔබට ඔබේ අත, පය, සිරුර එහා මෙහා කරන්නට බැරිව සිරුර ඔබෙන් අතුරුදන් වෙනවා. සෙමෙන් සෙමෙන් මරණයට පත් වීමේදී සිදු වන්නේ මේකම තමයි. හැබැයි ඔබ භාවනා කිරීමේදී මිය යන්නේ නැහැ. ඔබට භාවනාව නිම කොට සිහි එළවාගන්න පුළුවන් වෙනවා. නමුත් මරණයේදී එය නිමක් දකිනවා. සිරුර පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගත් වින්දනයන් සහමුලින්ම, නැත්තටම නැති වී යනවා. මේ විදියට භාවනාව නිසා පසිඳුරන් ඔබේ ශරීරයෙන් අතුරුදන් වීමෙන් ඔබට විශාල සැහැල්ලුවක්, සතුටක්, සැනසීමක් අත්විඳින්න ලැබෙනවා.
මෙහි තිබෙන ප්‍රයෝජන මොනවාද? මුල්ම කාරණය නම් ඔබේ සිරුර ඔබෙන් වෙන් වී ගිය පසු, අතුරුදන් වී ගිය පසු ඔබට සිරුර නිසා මෙතෙක් විඳින ලද දුක්වේදනාවන්ගෙන් අත්මිදීමක් ලබන්න පුළුවන් වීමයි. එය හරිම යහපත් තත්ත්වයක්. ඔබ ගැන කියන්ට මා දන්නේ නැහැ. නමුත් මා නම් වියපත් වෙමින් සිටින බව මා දන්නවා. දැන් මට වයස අවුරුදු 60 යි. දැනටමත් මට ශරීරයේ රුදා වේදනා, අපහසුකම් දැනෙනවා. හැටේදී මෙහෙම නම් හැටපහේදි, හැත්තෑවේදි කොහොම වේවිද කියා මට සිතෙනවා.
කොහොමහරි තවතවත් වේදනා උත්සන්න වෙන විත්තිය නම් මා දන්නවා. මේ හින්දා මේ ශරීරයෙන් වෙන් වෙන්න ලැබෙනවා නම්, මේ ශරීරය අත්හරින්න ලැබෙනවා නම් කොයිතරම් කදිමද? ඔබේ ශරීරය ඔබෙන් අතුරුදන් වෙන්න පටන් ගත්තාම ඔබට හරිම පුදුමාකාර ආස්වාදයක් විඳදරාගන්න ලැබෙනවා. වේදනා නැහැ, රුදා නැහැ. මීට මිනිත්තු කිහිපයකට ඉස්සර මා භාවනා කරමින් සිටියදී මගේ උගුරේ තිබුණු වේදනාව එහෙම්පිටින්ම අතුරුදන් වී ගියා. පසුගිය සති කිහිපයේදී ඉන්දුනීසියාවේ සිට ආපසු ආවාට පසු මේ උගුරේ අමාරුවෙන් මා පීඩා වින්දා. ඒක මොකක් හරි ආසාත්මිකතාවක් නිසා හැදිච්ච අමාරුවක් වෙන්න ඇති.
ඒ වුණත් කරුණාකර ඔබට කියන්න දෙයක් තිබෙනවා. මා ගැන කරුණාවන්ත වී මට කිසිම බෙහෙතක් දෙන්න උත්සාහ කරන්න එපා. මට අසනීපයක් කියා දැනගත්තාම මගේ දායකයෝ ගෙනත් දෙන බෙහෙත්වලින් බෙහෙත් සාප්පුවක් පුරවන්න බෙහෙත් ජාති තියෙනවා. කරුණාකර මේ සැරේ එහෙම කරන්න එපා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.
මිනිත්තු කිහිපයකට ඉස්සර භාවනා කිරීමෙන් මා ලත් අත්දැකීම තමයි උගුරේ දැවිල්ල කෙමෙන් කෙමෙන් අතුරුදන් වීම. කොයිතරම් අරුමයක්ද? වදවේදනාව තුරන් වුණා. මරණයට පත් වීමේදී ශරීරය අප අත්හැර යෑමට, අපෙන් අතුරුදන් වන්නට පටන්ගත්තාම සිදු වෙන්නේත් මේකම තමයි. මේ හරිම සුන්දර විදිහේ පහසුකමක්, නිදහසක්, සැනසිල්ලක්. එහෙම වුණාම යම් යම් දේවල් දැකීමේ, ඇසීමේ, රස විඳීමේ, ගඳ සුවඳ දැනීමේ, පහස ලැබීමේ රාජකාරිවලින් ඔබට නිදහස් වෙන්න හැකි වෙනවා.
ඔබ භාවනා කිරීමේදී එක්කෝ ගැඹුරට, ඒත් නැත් නම් ඒ තරම් ගැඹුරු නොවෙන විදිහට භාවනා කිරීමේදී ඔබට කරදරයක් වෙන, අවහිරයක් වෙන එක් දෙයක් නම් ශබ්දය විත්තිය ඔබ වැඩි දෙනෙක් දන්නා කාරණයක්. කාමරයෙන් පිටත ඔබ්බෙන් බබෙක් හඬන සද්දය, කෙනෙක් කහින විට ඒ හින්දා නැගෙන කැස්සේ සද්දය ඔබට හිරිහැරයක්, අවහිරයක් වෙනවා. මෙහෙම වෙන්නේ මක් නිසාද කියන්න ඔබ දන්නවා. ඔබ උදේම අවදි කරන්න එලාම් ඔරලෝසුවක් පාවිච්චි කරන්නේ මේ නිසයි. බුදු රජාණන් වහන්සේ පවා, උන් වහන්සේගේ ඉගැන්වීම්වලදී දක්වා ඇත්තේ පස් ඉඳුරන්ගෙන් අවසාන වශයෙන් අතුරුදන් වෙන්නේ නිමක් දකින්නේ ශබ්දය කියන කාරණාවයි. ඒ නිසා ඔබ මරණයට පත් වෙමින් සිටින විට ඔබෙන් අවසාන වශයෙන් අතුරුදන් වන්නේ ශබ්දයයි.
භාවනාවේ නියැලී සිටින තැනැත්තකු භාවනාවෙන් අවදි කරන්නේත් මේ ඉන්ද්‍රීය අවදි කිරීමෙනුයි; ඔබේ ඇසීම අවදි කිරීමෙනුයි. ටික දවසකට පෙර, උතුරු පර්ත්වලදී පැවැත්වූ භාවනා වැඩසටහනකට සහභාගි වූ කෙනෙක් භාවනා වැඩසටහන නිම කළ පසුත් ගැඹුරු භාවනාවේ ම නියැලී සිටියා. සමහරවිට ඔහු එතන සිටිද්දී අප එතනින් යන්න ඉඩ තිබුණා. ඒත් එතැන පිරිසිදු කරන්න ගිය මා ඔහු දැක, දැන් ඉතින් යන්න වේලාව හරි බව පෙනුණත්, ඔහු තවමත් භාවනාවේම නියැලී බිම වාඩි වී සිටියා. ඔහු ගැඹුරු භාවනාවෙන් ඉවතට ගැනීම මගේ වගකීමක් වුණා. ඔහුගේ සිරුරෙන් අල්ලා හොල්ලනවා වෙනුවට කනට කිට්ටු කර කතා කර, මම ඔහු අවදි කළා. පස් ඉඳුරන්ගෙන් අන්තිමට අතුරුදන් වන්නේ ශබ්දයයි.
මෙය තේරුම් ගත්තාම මරණයට පත් වීමේ ක්‍රියාවලියේදී කෙනෙකු මරණාසන්න මූර්ඡාවට වැටී සිටින බවත් ඔහුගේ අවසානය ළං වී ඇති බවත් දැනගත් විට මිය යමින් සිටින තැනැත්තාට කතා කරන්න. මක් නිසාද යත්: සියලු පස් ඉඳුරන්ගේ අවසානයට අතුරුදන් වන්නේ ඇසීම නිසා, මිය යන තැනැත්තාට ඔබ කතා කරන දේවල් බොහෝ විට ඇසෙන්න ඉඩ තිබෙනවා. සෙලවීම, ස්පර්ශ කිරීමට, වඩා අවසාන වශයෙන් ශරීරයෙන් අතුරුදන් වෙන්නේ ඇසීමයි. භාවනාවේ ගැඹුරට යන විට ඇසීම, දැකීම, ගඳ සුවඳ දැනීම, රස විඳීම, පහස විඳීම ආදි පස් ඉඳුරන් කෙමෙන් කෙමෙන් ඔබෙන් අතුරුදන් වන බවත්, ඒ සමග ඔබට පුදුමාකාර පහසුවක්, නිදහසක් සිතේ සැනසීමක් දැනෙන බවත් භාවනාවේ නිරත වන ඔබ බොහෝ දෙනාට අත්විඳින්න ලැබෙනවා. අසනීප වී මරණයට පත් වීමේදී සිදු වන්නේ මෙයයි. වාසනාවකට වගේ දැන් නව වෛද්‍ය ක්‍රම අනුව මේ සඳහා මෝෆීන් වැනි සිහි නැති කරන බෙහෙත් හොයාගෙන තිබෙනවා. සමහර බෞද්ධයන් මරණාසන්න මොහොතට එළඹුණාම ඇති වන දුක්වේදනාවන්ගෙන් මිදෙන්න කළ යුත්තේ කුමක්ද කියා මගෙන් අසනවා. මරණය පිළිබඳ ක්‍රියාවලිය පිළිබඳව සිත් කරදර කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. මෝෆීන් වැනි සිහි නැති කරන වේදනා සමනයන් භාවිත කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
ඒ මක් නිසාද කිව්වොත්: මරණය පිළිබඳ ක්‍රියාවලියේදී, ඔබේ සවන ඉන්ද්‍රිය වන මනස, සාමාන්‍යයෙන් ඔබේ මොළය පාවිච්චි කරනවා. මොළයේ ක්‍රියාකාරිත්වය නතර වුණාම, තවත් විදියකින් කිව්වොත් ඔබ මොළයෙන් නිදහස් වුණාම, ඇත්තටම සිදු වන්නේ අන්තිම මිනිත්තුවේදී සමහර විට වැඩිපුර, නැත් නම් සමහර විට අඩුවෙන් ඔබට පැහැදිලිකමක්, නැත් නම් නිර්මල බවක් අත්විඳින්න ලැබෙනවා. මගේ අම්මාගේ අවසාන කාලයේ මා මෙය අත්දුටුවා. ඇය බොහෝ වියපත් වී සිටියදී මා ඇය බලන්නට ගිය අවස්ථාවේදී මා ඇය සමග පැය දෙකක් පමණ කාලයක් ගත කළා; ඇය සමග කතාබහ කරමින් සිටියා. ඒත් ඇය මා කවුරුන්දැයි දැනගෙන සිටියේ නැහැ. පුදුමාකාර දෙයක් නම්, ඇය සමග ගත කළ පැය දෙකක් පමණ කාලයේදී ඇය ර්ධදචඵබපර (වනඅරම, ආරණ්‍යය) නම් වචනය පමණක් භාවිතා කළා.
මේ කියන්නේ මොනවාදැයි මගේ සහෝදරයාට තේරුම් ගන්න පුළුවන් වුණා. මගේ මව එවේලේ කතාබහ කළ දේවල්වලට මේ ‘පන්සල නැත් නම් ආරණ්‍යය’ කියූ වචනය කොහොමටවත් ගැළපුණේ නැහැ. නමුත් මේ පැමිණි සිටින තැනැත්තා හා ‘පන්සල’ අතර සම්බන්ධයක් තිබුණු බව ඇයට අවසාන අවස්ථාවේ පැහැදිලි වුණා. මේ වගේ අසනීපවලට ගොදුරු වී, මරණයට ආසන්න වූවන්ට ඔවුන්ගේ අවසාන අවස්ථාවේදී යටපත් වූ මතකයන් අවදි වූ අවස්ථා බොහෝමයි. ඔවුන්ගේ මතකයන් අවදි වෙනවා. ඔවුන්ට මෙතෙක් අමතකව තිබූ දේවල් පැහැදිලි වෙනවා; නිරවුල් වෙනවා. හේතුව තමයි මනස, බොහෝ කාලයක් මනස පාවිච්චි කිරීමට මොළය උදව් වුවත්, මොළය පාවිච්චි නොකර මනස පාවිච්චි කිරීමට හැකි වෙනවා. ජීවිතයේ අවසාන අවස්ථාවේදී මේ විදිහට මොළය මැරුණත් මනස සිරුරෙන් වෙන් වී ක්‍රියාකාරී වෙනවා.
මා ශිෂ්‍යයෙක්ව සිටි කාලයේ, පතපොත කියවමින් සිටියදී, අවුරුදු සිය ගණනකට පෙර ජීවත් වූ තැනැත්තෙක් පිළිබඳ ටොල්ස්ටෝයි ලියූ හරි අමුතුම කතාවක් කියෙව්වා. මේ තැනැත්තා ජීවත් වුණේ ගම්බද ප්‍රදේශයක පිහිටි නිවෙසකයි. මොහු බරපතළ ලෙස අසනීප වී වේදනාවෙන්, දවසේ පැය විසිහතරම, ළතෝනි දුන්නා; කෑමොරගැසුවා. ගෙදර අයට කරකියාගන්න දෙයක් නැතිව අවුලෙන් අවුලට පත් වුණා. ගෙදර කෙනෙක් මුළු දවස තිස්සේම වේදනාවෙන් කෑමොරගසමින් සිටියොත්, ඔබට කරකියාගන්න දෙයක් නැති වුණාම කොයිතරම් අසරණ වෙනවද කියන-එක ඔබට තේරුම් ගන්න පුළුවන්. මේ පවුල ගමේ පොහොසත් පවුලක්. ඒ හින්දා ලෙඩාට වෙදකම් කරන්න නොයෙකුත් ජාතියේ දොස්තර මහත්තුරු, ගමේ වෙද මහත්තුරු, හෝමියෝපති දොස්තරලා ගෙන්නුවා. ඒත් පලක් වුණේ නැහැ. මේ ලෙඩා විඳින වේදනාවෙන් එයා මුදාගන්න මේ කාටවත් බැරි වුණා. මේක මේ විදියට සති ගණනක් එක දිගටම සිදු වුණා. මේ කතාව අවසන් කරමින්, අන්තිමේදී ගෙදර තිබුණු කලබලය සමහන් වුණා කියා කතාකාරයා කියනවා. ඒත් ඒ ලෙඩාගේ මරණයෙන් නොවෙයි. මැරෙන්න විනාඩි 10ක් විතර තියා එයා හොඳ සිහියෙන්, බොහෝම නිරවුල් මනසින් සිටියා. බොහෝම තැන්පත්කමින් සිටි ඔහු ඊට පසුව මැරුණා. මේක කතාවක් වුණත් මෙය මරණාසන්න වූ බොහෝ දෙනාට පොදු දෙයක් විත්තිය හෙදියන්, වෛද්‍යවරුන්ගේ අත්දැකීමයි. ඔවුන්ගේ අත්දැකීම් අනුව මරණාසන්න වූ බොහෝ දෙනෙකු ජීවිතයේ අවසාන මොහොතේ බොහෝම පැහැදිලි, නිරවුල් මනසින් සිටිනවා.
දැන් මම මේ පන්සලට එන කෙනෙකු, සිය පියාගේ අවසාන මොහොත ගැන මට පැවසූ අත්දැකීමක් ඔබට කියන්නම්. මේ කතාව කියූ තැනැත්තිය සමහර විට අදත් මෙතන ඉන්න ඉඩ තිබෙනවා. ඇය පර්ත්වල වාසය කරන කෙනෙක්. ඇගේ පියාගේ මරණාසන්න මොහොතේදී ඇයත් ඇයගේ සහෝදරියත් ඇඳ දෙපසට වී සිටියා. මරණාසන්නව සිටි පියා සිහිසන් නැතිව සිටි අතර, ඔවුන් ඔහුගේ මරණය සිදු වන තුරු දෙපසට වී බලා සිටියා. අන්තිම හුස්ම හෙළමින් සිටි මොහොතේ එක් සහෝදරියක් ඇගේ පියාගේ අත අල්ලාගෙන සිටියා. මරණය කොයි මොහොතේදී සිදු වෙනවාදැයි ඔවුන් දැන සිටියේ නැහැ. මමද මේ විදිහට මරණාසන්නව සිටින ඇත්තන්ගේ අවසාන හුස්ම අදිනවා බලාගෙන සිටි අවස්ථා එමටයි.
අවසාන මොහොතේ මේ කියන තැනැත්තා පිළිබඳ අමුතු යමක් සිදු වුණා. ඔහු අන්තිම හුස්ම හෙළීම නවතා, ඇස් දෙක හැර බැලුවා. ඉන්පසුව ඇඳ දෙපස සිටි සිය දූවරුන් දිහා ඕනෑකමින් බැලුවා. මේ මොහොතේ කල්තියා කිසිම සූදානමක් නැතුව, එවේලේ ඇති වූ සිතේ හැඟීම් නිසා මේ දූවරුන් දෙදෙනා “තාත්තේ, අපි ඔයාට ආදරෙයි” කියා කිව්වා. ඉන් පසු ඔහු ඇස් දෙක පියාගත්තා. ඔහු මිය ගියා. මේ සිදු වූ දේ ගැන පුදුම හිතෙන්න පුළුවන්. මිය ගිය තැනැත්තා හුඟාක් වෙලාවක් මරණාසන්නව සිහිසන් නැතිව සිටියා. අවසාන මොහොතේ ඔහු ඇස් හැර බැලුවා. දූවරුන් දෙදෙනාට අවසාන වචනය කියන්න ඉඩ ලැබුණා.
මේ සමඟ අපූරු සිද්ධියක් ‘ටයිම්’ සඟරාවේ මනස ගැන විස්තර වූ ලිපියක තිබුණා. මා හිතන්නේ මේ ‘ටයිම්’ සඟරාවේ පිටපතක් අපේ ආරාමයේ තිබෙනවා. මේක මනස, ශරීරයෙන් වෙන් වීම පිළිබඳ කදිම සිද්ධියක්. මේ සිද්ධියට අදාළ තැනැත්තා දරුණු මොළයේ ගෙඩියකින් පීඩා වින්දා. මේ සිද්ධිය විස්තර කරන්නේ එම රෝගියාට රෝහලේදී ප්‍රතිකාර කළ වෛද්‍යවරයා. මොළයේ ගෙඩිය බොහෝම උත්සන්න වී තිබුණු නිසා රෝගියා ලෙඩ ඇඳේ දවස් ගණනක් තිස්සේ සිහිමූර්ඡා වී සිටියා. මොළයේ හැදුණු ගෙඩිය නිසා මොළයෙන් විශාල කොටසක් අක්‍රිය වී තිබුණා; මැරී තිබුණා. ඒ නිසා කතා කිරීම වැනි මොළයෙන් සිදු වන උසස් ක්‍රියාකාරකම් එහෙම්පිටින්ම අතුරුදන් වී තිබුණා. මොළයේ ඉතිරි වී තිබුණු සුළු කොටස නිසා යාන්තමට පණනල අල්ලාගෙන සිටියා.
හුස්ම ඉහළට පහළට හෙළීම වැනි ශරීරයේ මූලික ක්‍රියාකාරකම් පමණක් යාන්තමින් සිදු වුණා. හිටිහැටියේම ඔහුට සිහිය ඇවිත් ඇස් හැර බැලුවා. ඒ විතරක් නොවෙයි. මිනිත්තු 15ක් විතර වේලාවක්, ඔහුගේ පවුලේ ඇත්තන් සමග කතාබහ කළා. විනාඩි 15කට විතර පස්සේ ඔහු සියලු දෙනාගෙන් සමුගෙන, අවසන් හුසම හෙළුවා. මේ රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරු විස්මයෙන් විස්මයට පත් වුණා. මක් නිසාද කිව්වොත්: මේ කියන වේලාව වන විට ඔහුගේ මුළු මොළයම මැරී අක්‍රියව තිබුණා; මොළයේ කිසිම දෙයක් ඉතුරු වී තිබුණේ නැහැ.
මහාචාර්ය ලෝමල් විසින් අනාවරණය කර ඇති සිද්ධියක් මම මීට පෙරත් කියා ඇති. මේ මහාචාර්යවරයාගේ විශ්වවිද්‍යාලයේ ගණිත විෂයය හැදෑරූ එක්තරා ශිෂ්‍යයෙකුගේ හිසෙහි අසාමාන්‍ය පෙනුමක් තිබුණු නිසා ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවාම ඔහුට මොළයක් නැති බව අනාවරණය වුණා. මුළු මොළයම අතුරුදන් වී තිබුණා. ඔහු ගණිතය ගෞරව උපාධිය හැදෑරූ උපාධි අපේක්ෂකයෙක්. පෙම්වතියක් ද සිටි සාමාන්‍ය ජීවිතයක් ගත කළ අයෙක්.
තමන්ට මොළයක් නැති බව ඔහු දැන සිටියේ නැහැ. මේක මේ විදිහට සිදු විය හැක්කේ කෙසේද? මා දන්නා තරමට ඒ විතරක් නොව, බුද්ධාගම පවසන විදිහට ඔබේ මනසට ඔබේ ශරීරයෙන් පිටතට වී ක්‍රියාකාරී විය හැකියි. ශරීරයෙන් වෙන් වී සිටිමින් මනසට සිතීම හා වෙනත් ක්‍රියාකාරකම් ඉටු කිරීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම මනසට මොළයෙන් බැහැර වී ස්වාභාවිකව ක්‍රියාකාරි වෙන්නට හැකියාවක් තිබෙනවා. ඔබේ මරණාසන්න මොහොතේ සිදු වන්නේ මෙන්න මේකයි; ඔබේ මනස නැත්නම් ඔබේ සිත, මොළයෙන් නිදහස් වී ක්‍රියාකාරී වීමයි. එවිට අවසාන මොහොතේ සියල්ල නිරවුල් වෙනවා.
මේ පිළිබඳ නොයෙකුත් සාක්ෂි පදනම් කරගත් සිද්ධි වාර්තා වී ඇති අතර, එවැනි වාර්තාවලින් ඔබේ ජීවිතයේ අවසාන මොහොතේ මනස ක්‍රියාකාරී වන්නේ කෙසේද යන්න අපට පැහැදිලි වෙනවා. මගේ මවගේ අවසාන මොහොත, මා අත්දුටු නිසා, මරණාසන්න වූ තැනැත්තකු සිය අවසාන මොහොතේ කිසියම් නිරවුල්තාවකට, තවත් විදියකට කිව්වොත් නිර්මලතාවකට පත්වන හැටි මා දැක්කා.
හදිසි අනතුරුවලින් ක්‍ෂණිකව මියගිය තැනැත්තන් මරණයට පත් වීමෙන් පසු මනස ශරීරයෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් නිරීක්ෂණය කරමින් සිටීම පිළිබඳව අප්‍රමාණ සාක්ෂි තිබෙනවා. සිය මරණාසන්න අත්දැකීම් ඉංගී‍්‍රසියෙන් සඳහන් කරන විදිහට ව්ඥචප ච්ඥචබඩ ඡ්යනඥපඪඥදජඥ ගැන සඳහන් කරන බොහෝ දෙනෙක් මේ සමාන අත්දැකීම් අනාවරණය කර තිබෙනවා. මරණයට පත් වීමෙන් පසුව මනස ශරීරයෙන් වෙන් වී ගොස්, ශරීරයක් නැතුව ඇසීම හා දැකීම අත්විඳින්නට පුළුවන් වූ තැනැත්තන් විසින් සිය මරණාසන්න අත්දැකීම් සම්බන්ධව පසුව කළ ප්‍රකාශවලින් මේ බව සනාථ වෙනවා. තමන්ට ශරීරයක් නැතත්, තමන්ගේ මළ සිරුර මේසයක් මත නැත්නම් මෝටර් රථයක බාවා තිබියදී සිදු වන දේවල් දැකගන්නට, අසන්නට පුළුවන් වූ බව මේ අය පවසනවා. මේ අය තාවකාලික මරණයට පත් වී, පසුව ප්‍රාණය ලැබ, ජීවත් වීමේ වාසනාව ලැබුවාට පසු, තාවකාලික මරණය සිදු වූ කාලපරිච්ඡේදය පිළිබඳ තමන් අත්දුටු දේවල් විස්තර කර තිබෙනවා. මේ ඇත්තෝ බෞද්ධයන්ම නොවෙයි. ලෝකයේ නන් දෙස ජීවත් වන විවිධ සංස්කෘතිවලට අයත් ඇත්තන් වීම විශේෂ කාරණයක්.
මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසා බලන්නට කැමැති කෙනෙක් ඇත් නම් මහාචාර්ය පිම් වැන් ලෝමල්ගේ (ර්‍ථඪථ ඍචද ඹ්ධථථඥත) වෙබ් අඩවියට පිවිසෙන්න. මේ මහාචාර්යවරයා ඕලන්දයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු විසින් මරණාසන්න වූවන්ගේ අත්දැකීම් අලළා කළ පර්යේෂණවලින් අනාවරණය වූ සිද්ධි රාශියක් තිබෙනවා. කිසියම් හේතුවක් නිසා මරණයට පත් වී, සිරුර මේසයක් මත හෝ වෙන යම් දෙයක් මත බාවා තිබියදී මනස සිරුරෙන් වෙන්ව ඉහළට පාවී ගොස් තමන්ගේ අත්හැරදමා ආ සිරුර දකිමින්, සිදු වන දේවලට ඇහුම්කන් දෙමින් සිටි තැනැත්තන්ගේ අත්දැකීම් මේ කතාවලින් අනාවරණය වෙනවා.
ඇත්තද නැත්තද කියා මට හරියට කියන්න බැරි වුණත් මරණාසන්න වූවන් පිළිබඳ කතාන්දර අතරින් මගේ ජනපි‍්‍රයම කතාවක් මම දැන් ඔබට කියන්නම්: ලංඩන් නුවර විසූ ඉතාම ධනවත් කාන්තාවක් අසනීප වී, ඇයට සුළු ශල්‍යකර්මයක් කරන්න සිදු වුණා. ඇය ඉතා ධනවත් නිසා මේ සුළු සැත්කම කිරීමටත් සුප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරුන් සිටින හාලි වීදියෙන් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු කැඳවාගත්තා. මේ සඳහා අධික වියදමක් ගියත් සැත්කම සාර්ථක විදියට කරන්න ඇයට ඕනෑ වුණා. ඉතා දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ සැත්කම කළත් සැත්කම අතරමැදදී ඇය මිනිත්තු කිහිපයක් මරණයට පත් වුණා. බොහෝ වියහියදම් කර වෛද්‍යවරු කැඳෙව්වාම ඔවුන් සැම විටම විනීතව කටයුතු කරනවා ඇතැයි ඔබ බලාපොරොත්තු වෙනවා. ඒත් සැත්කම කරගෙන යද්දී වෛද්‍යවරයාගේ මේ විනීතකම අතුරුදන් වුණා. මේ කාන්තාව මරණයට පත් වෙමින් සිටියා. බොහෝ කලබලයට පත් වූ අර ශල්‍ය වෛද්‍යවරයා සැත්කම් කරගෙන යන අතරවාරේ මේ කාන්තාව සිහිනැතිව සිටින බව දැක මෙසේ කිව්වා: “බැල්ලි, මේ වේලාවේ මේ වැඩේ අත්හැරදමන්න එපා.” ඔහු කියූ වචන ටික ඒකයි.
ඔබ වෛද්‍යවරියක්, නැත්නම් හෙදියක් නම් මේක හොඳට මතක තියාගන්න. මේ ශල්‍ය වෛද්‍යවරයා, කාන්තාවගේ අසනීපයට ප්‍රතිකර්ම කොට ඇයට නැවත ජීවත් වීමට අවස්ථාව සැලසුවා. සැත්කමෙන් පසු මේ වෛද්‍යවරයා සුවපත් වූ කාන්තාව බැහැදකින්න ගිහින්, “නෝනා මහත්මයා, ඔබතුමියගේ ජීවිතය ඒ වෙලාවේ බොහෝ අන්තරාදායක තත්ත්වයකට පත් වුණා,” යැයි බොහෝම විනීත ලෙස කිව්වා. “ඔව්. මම ඒ වග දන්නවා” ඇය කිව්වා. “ඒත් ඔයා මට බැල්ලි කියල කිව්වෙ මොකද?” ඇය ඇසුවා. වෛද්‍යවරයාට මොනවා හිතෙන්න ඇතිද කියලා ඔබට හිතාගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ කියන වේලාවේ මේ කාන්තාව තාවකාලික මරණයට පත් වෙලයි තිබුණේ. තමා මරණයට පත් වූවත් තමාට සිහිය තිබුණ බව මේ කාන්තාව පසුව කිව්වා.
මේ වගේ කථා අප්‍රමාණයි. ඔබටත් මේ වගේ අත්දැකීම් ඇති. නැත් නම් මේ සමාන වෙනත් අයගේ අත්දැකීම් ඔබ අසා ඇති. මම මේ මාතෘකාව යටතේ දේශනයක් පැවැත්වූවාම, දේශනය නිම වුණාට පසු තුන්හතර දෙනෙක් පැමිණ, “ඒ වගේ දේශනයක් කිරීම ගැන ඔබට බොහෝම ස්තුතියි. මේ වගේ අත්දැකීමක් මටත් තිබෙනවා” කියා කියනවා. “මමත් තාවකාලික මරණයට පත් වී මගේ සිරුරෙන් ඉවත් වුණා” යැයි ඔවුන් කියනවා.
.
පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි
පරිවර්තනය - නීතිඥ සමරසිංහ ගුණසේකර
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

එදා බුදුරදුන් දුටු ලෝකය මෙදා විදු ඇසින් දැකීම

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ 
හෑගොඩ විපස්සි හිමි
ආලෝක වර්ෂ 1400 කටත් වඩා ඈතින් පිහිටා ඇති අපේ පෘථිවිය මෙන් හැට ගුණයකින් විශාල වූ ඊට සමාන අළුත් ග්‍රහලෝකයක් නාසා ආයතනය විසින් සොයා ගන්නා ලදැයි යන පුවත පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත් විය. ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයට යොමු වූ එම පුවත ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ සිත් සතන් මීට වසර දෙදහස් පන්සිය පනස් නවයක් තරම් වූ දුරාතීතයකට අරමුණු වූවා නිසැකය. ඒ අන් කිසිදු හේතුවක් නිසා නොව එදා බුදුරජාණන් වහන්සේ දුටු දස දහසක් චක්‍රාවාට මේ ආකාරයට අද විදු ඇසින් ප්‍රත්‍යක්ෂ වෙමින් පවතින නිසාය.
ඍග්වේදයේ විශේෂයෙන් දසවන මණ්ඩලයේ ඉගැන්වීම බුදුදහම හැර ලොව සෙසු ආගම් බිහිවීමට බෙහෙවින් බලපා තිබේ. ආගමික මත පිළිබඳව ප්‍රශ්න කළ ඇතැම් විද්‍යාඥයින්ට සිදු වූයේ තම ජීවිත වලින් වන්දි ගෙවීමටය. එහෙත් බුදු දහම අන් සියලු ආගම් වලට වෙනස් වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඕනෑම ධර්ම කාරණයක් ඕනෑම පුද්ගලයෙකුට ප්‍රශ්න කිරීමට විමර්ශනය කිරීමට හැකි වන නිසාය.
බුදු දහමට අනුව මේ පෘථිවි තලය කවරෙකු හෝ මවන ලද්දක් නොවේ.
බුදු දහමට අනුව මේ විශ්වයේ මුලක්,මැදක් හෝ අගක් නැත. විශ්වය අනවරාග්‍ර වන්නේ ඒ නිසාය. මේ සඳහා සංයුක්ත නිකායේ “අනමතත්ගෝයං සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති’ යන දේශනා පාඨය ගෙන හැර දැක්විය හැකිය. විශ්වය කලින් කල ඇතිවී විකාශය වන්නකි. මේ බව අග්ගඤ්ඤ සූත්‍රය, සත්ත සිරිසුග්ගම සූත්‍රය ආදී සූත්‍ර දේශනා වලින් ප්‍රකට වේ. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් ලොව ඇතිවී විකාශනය වී නැතිවී යන ආකාරය පිළිබඳව මෙසේ පැවසේ. “හොති ඛො සො වාසෙට්ඨ සමයො යං කදාචි කරහව් දිගස්ස අද්ධුනො අච්චයෙන අයං ලෝකො සංවට්ටති වීවට්ඨති...
වාසෙට්ඨයෙංනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් කිසියම් කාලයක මේ ලොව වැනසෙයි. එසේ ලොව වැනසෙන කාලය සංවට්ට කල්පයයි. විශ්වය හටගෙන විකාශය වන කාලය විවට්ට කල්පයයි.
විසුද්ධි මාර්ගය වැනි අටුවා වල මෙම කල්ප තවදුරටත් විස්තර කොට දක්වා තිබේ. ඒ අනුව විනාශ වන කල්පය සංවට්ට ලෙසද විනාශ වී පවත්නා කල්පය සංවට්ටම්ඨායි ලෙසද විනාශ වී වැඩෙන කල්පය විවට්ටයි ලෙස සහ වර්ධනය වී පවතින කල්පය විවට්ටට්ඨායි ලෙසය.
කල්පය යන්නට අරුත් කිහිපයක් වේ. ආයුෂ කල්පයක් යනු මනුෂ්‍යයෙකු උපරිම වශයෙන් ජීවත්වන කාලයයි. එහෙත් ලෝක විනාශයේදී මෙහි කල්පයක් ලෙස විග්‍රහ කෙරෙනුයේ අතිදීර්ඝ කාල පරාසයකි. කල්පයක් යනු කොතරම් දීර්ඝ කාලයක්දැයි සංයුක්ත නිකායේ සාසපොපමාවත්, පබ්බතෝපමාවත් යන උපමාවන්ගෙන් මනාව පැහැදිලි වන්නකි. එහි සඳහන් සාසප නැතිනම් අබ ඇට උපමාව මෙසේය.
දිගින් පළලින් සහ උසින් යොදුන බැගින් වූ අයෝමය චතුරස්‍රයක් සාදා එය අබ ඇට වලින් පුරවනු ලබයි. යමෙකු වසර සියයක් ගත වූ තැන පෙර සඳහන් අබ ඇට ගොන්නෙන් එක් අබ ඇටයක් ඉවත් කරන ආකාරයට දිගින් පළලින් උසින් යොදුනක් වූ අබ ඇට පෙට්ටියෙන් අබ ඇටය බැගින් ඉවත් කොට යම් දිනයක අබ ඇට පෙට්ටියම හිස් කරන්නේද, එදින කල්පය සම්පූර්ණ වූ බවය. මෙහිදී යොදුනක් යන්නද තවදුරටත් පැහැදිලි කරන්නේ නම් එය සැතපුම් 16 ක් පමණ වන විටදී විශ්වය සම්බන්ධයෙන් කල්ප විවරණය කොතෙක් නම් දීර්ඝ කාලපරාසයක්දැයි පැහැදිලිකිරීම අවශ්‍ය වන්නේ නැත.
අද වන විට නවීන විද්‍යාව තුලින් සොයා ගත්තද අප මේ ජීවත්වන පෘතුවියට අමතරව තවත් ලෝක දස දහසක් පවතින බව මුලින්ම ලොවට හෙළිකරන ලද්දේ බුදුරජාණන් වහන්සේය. මේ සඳහා හොඳම නිදසුන අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වර්ගයේ දස වැනි සූත්‍රයයි. මෙම සූත්‍රයට විශේෂ නමක් බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ සඳහන්ව නොතිබුණද ඇතැමෙක් එය චූලනිකා සූත්‍රය වශයෙන් නම් කොට තිබේ. එහි සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට මෙසේ වදාළ සේක.
ආනන්ද , සඳහිරු, දෙදෙනා යම්තාක් ප්‍රදේශයක ගමන් කරද්ද? බබලමින් සියලු දිශා ආලෝකමත් කරද්ද? එබඳු දහසක් චක්‍රමාලා ලොව වෙයිද? ඒ දහසක් චක්‍රමාලයන්හි සඳ හිරු දහස බැගින් වෙයි. දහසක් මේරු පර්වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගෝයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්ව දේහ වෙයි. මහා සමුද්‍ර භාර දහසක් වෙයි. වරම් රජවරු හාර දහසක් වෙයි. චාතුර්මහාරාජික , තව්තිසා , යාම , තුසිත, නිර්මාණ ,රතී, පරනිම්මිත, වසවර්ති ආදි දිව්‍ය ලෝක දහස බැගින් වෙයි. ආනන්දයෙනි,මේ දහසක් සක්වලින් යුත් චූලනිකා ලෝක ධාතුවයි.
මෙබඳු සහස්සී චූලනිකා ලෝකධාතු දහසක් ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතුවයි. මෙය ශ්‍රාවකයිනට විෂය නොවන්නකි. බුදුරජාණන් වහන්සේටම විෂය වන්නකි. මෙසේ ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතු දහසක් තිසහස්සී මහාසහස්සී ලෝක ධාතුවයි. කෝටි ලක්ෂයක් චක්‍රාවාටයන් මෙහි ඇතුළත්ය. ආදී වශයෙන් අංගුත්තර නිකායේ තික නිපාතයේ එන මෙම සූත්‍රයෙන් විස්තර කොට තිබේ. එම සූත්‍රයෙන් පැවසෙන දෙය සරලව මෙසේ පැහැදිලි කළ හැකිය.
එනම් එක් ඉරකින් සහ එක් සඳකින් ආලෝකය පැතිරෙන ප්‍රමාණය සක්වළකි.නැතහොත් චක්‍රාවාටයකි. එබඳු චක්‍රාවාට දහසක් සහස්සී චූලනිකා ලෝක ධාතුවයි.සහස්සී චූලනිකා ලෝකධාතු දහසක් (1000ය 1000 =1000000) ද්විසහස්සී මජ්ක්‍ධිමිකාලෝක ධාතුවයි. ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතු දහසක් (1000000ය1000 =1000000000) තිසහස්සී මහාසහස්සීලෝක ධාතුවයි. මෙහි එන ගණිත ක්‍රමය පිළිබඳව අටුවාවේ විස්තර කොට තිබේ.
නවීන විද්‍යානුකූලව සඳු යනු ආලෝකය විහිදුවන වස්තුවක් නොවේ. එහෙත් මෙම සූත්‍රයට අනුව එලෙස සඳහන් වන්නේ එකල පැවති කතා ව්‍යවහාරයට අනුවය. එය සම්මුති දේශනාවයි. මේ ආකාරයේ ලෝක ධාතු පිළිබඳව සඳහන් වන තවත් සූත්‍රයක් වන්නේ සංඛාරුප්පත්ති සූත්‍රයයි.
අපවත්වී වදාළ පූජ්‍යපාද තලල්ලේ ධම්මානන්ද මහානායක ස්වාමින්වහන්සේද මේ පිළිබඳව ඉතා හොඳ විවරණයක් සපයා තිබේ. එය මෙසේ උපුටා දක්වන්නේ උන්වහන්සේගේ විචක්ෂණ භාවය ප්‍රකට කරනු සඳහාය.
ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය හාලෝ ෂැප්ලිගේ මතයට පසුව අපේ පෘතුවියේ මෙන් ජීවි සතුන් සිටින ග්‍රහලෝක යටත් පිරිසෙයින් ලක්ෂ කෝටියක් වත් විශ්වයේ තිබේ. චක්‍රවාට ,චක්‍රවාල, සක්වළ යනු මෙම ලෝකධාතු වලටම භාවිතා කරන තවත් නම්ය. ඒ චක්‍රාකාර හැඩයෙන් ලෝකධාතුව භ්‍රමණය වන නිසාය. සක්වළ යන වචනය මෙකල වැරදි ලෙස යොදනු ලබන තැන්ද ඇත. අපට පෙනෙන සඳ තිබෙන්නේ පිටසක්වලක නොවේ. සඳ පමණක් නොවේ සෞර ග්‍රහමණ්ඩලයේ ග්‍රහලෝකද මේ ලෝක ධාතුවට අයත් ඉරවල් ඇතුළු සෞරමණ්ඩල සියල්ලක්ද අපේ සක්වළට අයත්ය. මෙම සක්වළට බුද්ධ ග්‍රන්ථවල සඳහන් වන්නේ සහස්සී ලෝකධාතු යන නමයි. නවීන විද්‍යාඥයන් භාවිතා කරන්නේ ක්ෂීර පථ යන නාමයයි.
මූලික බෞද්ධ මතයත් නවීන මතයටත් අනුව විශ්වයෙහි කුඩාම කොටස වන්නේ සූර්යයන් දහස් ගණනක් පවතින සහස්සී චූලනිකා ලෝක ධාතුවයි. බෞද්ධ මතය අනුව මේ සහස්සී චූලනිකා ලෝක ධාතු පිහිටා තිබෙන්නේ පුඤ්ජ වශයෙනි. මෙවැනි ලෝක ධාතු දශකයක් ඇති ලෝක ධාතු පුඤ්ජය දස සහස්සී ලෝකධාතු යනුවෙන් හැඳින්වේ. මෙවැනි ලෝක ධාතු සතරක් ඇති ලෝකධාතු පුඤ්ජය චතුසහස්සී ලෝක ධාතු නම්වේ. සියයක් ඇති තැන සතසහස්සී ලෝකධාතු වෙයි. මෙවැනි ලෝක ධාතු පිළිබඳව සංඛාරාප්පත්ති සූත්‍රයෙහි පැහැදිලිව සඳහන් කොට තිබේ.
මෙසේ ද්විගුණව දහස් ගණනින් එකට එක්ව පවතින මේ ලෝකධාතු පුඤ්ජය ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතු නම් වේ. අප සිටින ලෝක ධාතු පුඤ්ජයේ ඉතා ආසන්නවම ප්‍රධාන ලෝකධාතු දහයක් පිහිටා ඇත. ඊට ඈතින් පිහිටි තරමක් කුඩා ලෝක ධාතුන් සමඟ ගණනය කරන විට සියල්ල විස්සක් වේ. කන්‍යා රාශිය වශයෙන් අපට පෙනෙන ප්‍රදේශයේ ලෝක ධාතු දහසක් එකට පිඬුවී පවතී. මෙම ලෝකධාතු පුඤ්ජ හෙවත් දෙවෙනි දහස් ගණනක් වූ ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝකධාතු දහස් ගණනින් පිඬු වූ ප්‍රදේශය මුළුමහත් විශ්වයයි. එනම් තෙවැනි දහස් ගණන වූ තිසහස්සි මහා සහස්සී ලෝක ධාතුවයි. මහාලෝක ධාතු යැයි කියනු ලබන්නේ මෙයයි.
මෙලෙස විමසා බලන විටදී නවීන මතයටද මෙය හැර වෙනකක් නැත. ඇතැම් තාරකා විද්‍යාඥයෝ එයට අධිලෝක ධාතුව යැයි ද පවසති.
බුදුදහමට අනුව සක්වළකට සීමාවක් පැනවිය හැකිය. එය නම් එක් ඉරකින් ආලෝකමත් වන ග්‍රහයන් එක් සක්වළක් ලෙසය.මෙම සීමාවෙන් ඔබ්බට තවත් දහස් ගණනින් සක්වළවල් තිබේ. සිතා බැලීමෙන් සීමාවකට පිවිසිය නොහැකි කරුණු සතරෙන් එකක් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝක විෂයයි.ලෝක චිත්තාභික්ඛවේ අචින්තෙය්‍යන චින්තෙතබ්බා යං චින්තෙත්තෝ උම්මාදස්ස විසාතස්ස භාගි අස්ස”
අංගුත්තර නිකාය එසේ සඳහන් වන අචින්තෙය්‍ය පාඨයෙන් පැවසෙන්නේ ලෝක විෂය පිළිබඳව සිතීමෙන් උමතුවිය හැකි බවත් දැඩි දුකට හේතුවන බවත්ය.
මෙහි අරුත වන්නේ මෙම විෂය සම්බන්ධයෙන් විද්‍යාඥයින්ට පර්යේෂණ කිරීම නුසුදුසුය යන්න නොවේ. ලෝක විෂය සම්බන්ධයෙන් කොතෙක් පර්යේෂණ කළද එහි සීමාවක් නොමැති බවය. ඇතැම් විට මේ අසීමිත ලෝක ධාතුව පිළිබඳව දිගින් දිගටම සිතීම උමතු බවට හේතුවක් විය හැකි බවය. මේ අයුරින් ලෝක විෂය සම්බන්ධයෙන් කොතෙකුත් අදහස් ත්‍රිපිටකයේ සඳහන්ය.

කැඩෙන බිඳෙන ලෝකය බුදුදහමේ ඇසින්

වර්තමානයෙහි ලෝක විනාශය පිළිබඳ විවිධ අදහස් සහ උපකල්පන පැතිරෙමින් පවතී. මේ පිළිබඳව බුදුදහමෙහි සූත්‍ර දේශනාවල ඇතුළත් අදහස් කුමක්ද? මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ පුද්ගලික අදහස් නොමැතිව බුදුරජාණන්වහන්සේ විසින්ම දේශනා කළ බවට පිළිගැනෙන ත්‍රිපිටකයෙහි අඩංගු සූත්‍ර දේශනා ඇසුරින්ම විස්තරයක් ඉදිරිපත් කිරීමය. අංගුත්තර නිකායේ සත්තක නිපාතයෙහි දෙවන පණ්ණාසකයේ, මහාවග්ගයේ ඇතුළත් සත්ත සුරියුග්ගමන සූත්‍ර දේශනාව, මේ පිළිබඳව මනාවූ විස්තරයක් ඉදිරිපත් කරයි. එම සූත්‍ර දේශනාවේ අඩංගු සම්පූර්ණ කරුණු මෙහි ඇතුළත් කරන්නේ නිවැරැදි අදහසක් ලබා ගැනීම පිණිසය.
භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙහි, අම්බපාලි වනයෙහි වැඩවසන්නේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කොට මෙසේ දේශනා කළහ. “මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයයි. අස්ථිරයි. සැනසීමක් නැහැ. සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම හෙවත් සංවේගය ඇතිකරගැනීමට මේ කාරණයම ප්‍රමාණවත්ය. නොඇලී සිටීමට ප්‍රමාණවත්ය. මේ සියලු සංස්කාරයන්ගෙන් මිදීමට ප්‍රමාණවත්ය. “මෙහි සංස්කාර ලෙස අදහස් කළේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක සෑම වස්තූන්මය. තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.
“මහණෙනි, සිනෙරු පර්වතය දිගින් යොදුන් සුවාසු දහසකි. පළලින් යොදුන් සුවාසු දහසකි. සුවාසු දහසක් යොදුන් මහ සයුරෙහි ගිලී සිටියේ ය. සුවාසූදහසක් යොදුන් මහමුහුදින් උඩට නැඟී සිටියේ ය.”
මහණෙනි, යම් ආකාරයකින් බොහෝ වර්ෂයක්, බොහෝ වර්ෂ සීයක්, බොහෝ වර්ෂ දහසක් බොහෝ වර්ෂ සිය දහසක් වර්ෂාව නොවන්නේ ය. මහණෙනි, මෙසේ වැසි නොවැසීම නිසා බීජයන්ද, වෘක්ෂලතා, ඖෂධ, තෘණ, කැලෑවෝ පවතී නම් මේ සියල්ලම වියළෙති. විශේෂයෙන්ම, එනම් මුළුමනින්ම වියළෙති. නැවත නොවැඩෙති.
මහණෙනි, මෙසේ මෙම සියලු සංස්කාරයෝ අනිත්‍යයයි. අස්ථිරයි. සැනසීමක් නැත්තේමය. මේ නිසා සියලු සංස්කාරයන්හි කලකිරීම හෙවත් සංවේගයට මෙයම ප්‍රමාණවත් ය. නොඇලීමට ප්‍රමාණවත් ය. මිදෙන්නට ප්‍රමාණවත්ය.
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනු ලබන මීළඟ විස්තරය ලෝක විනාශය පිළිබඳව ඉතා වැදගත් කොටසකි. එනම්, “මහණෙනි, දිගුකල් ඇවෑමෙන් කිසියම් කලෙක දෙවෙනි සූර්යයෙක් පහළ වන්නේ ය. මහණෙනි, දෙවෙනි සූර්යයාගේ, පහළවීම නිසා කුඩා ගංගාවෝ ද, කුඩා දියවිල්ද, වියළෙති. මුළුමනින්ම වියළෙති. නොවැඩෙති.”
“මහණෙනි, දීර්ඝ කාලයක ඇවෑමෙන්, කිසියම් කලෙක තෙවන සූර්යයෙක් පහළ වන්නේ ය. මහණෙනි, තෙවැනි හිරුගේ පහළ වීම නිසා ගංඟා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මහා ගංඟාවෝ වියළෙති. මුළුමනින්ම වියළෙති. නොවැඩෙති. මෙම සෑම කෙටි විස්තරයකින් පසුවම භාග්‍යවතුන් වහන්සේ සංස්කාර වස්තූන්හි ඇති අනිත්‍යතාව පිළිබඳ සිහිපත් කොට සංවේගය, නොඇලීම සහ එම සංස්කාර වස්තූන්වලින් මිදීමට සුදුසු බව අවධාරණය කරති.
“මහණෙනි, දීර්ඝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක, යම්හෙයකින් සතරවන සූර්යයෙක් පහළ වන්නේ ය. එම සතරවන සූර්යයාගේ පහළවීම නිසා යම් තැනකින් මහා නදීහු උපදින්නේ නම් එම මහවිල්ද එනම් අනෝතත්ත, සිංහ ප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, කුණාල, ෂඩ්දන්ත, මන්දාකිනි නම් වූ මහවිල්හු වියළෙති. මුළුමනින් වියැළෙති නොවැඩෙති.”
මහණෙනි, දීර්ඝ කාලයක ඇවෑමෙන් පසුව, කිසියම් කලෙක, යම්හෙයකින් පස්වන සූර්යයෙක් පහළවන්නේ ය. පස්වන හිරුගේ පහළවීම නිසා මහ මුහුදෙහි සියක් යොදුන් දිය පහළ බසින්නේ ය. මහා සමුද්‍රයෙහි දෙසීයක් යොදුන් දිය පහළ බසින්නේ ය. මහ සයුරෙහි තුන්සියයක් යොදුන් දිය පහළ බසින්නේ ය. මේ ලෙස හාරසිය, පන්සිය, හයසිය සහ සත්වන යොදුන් දිය පහළ බසින්නේ ය. මහසයුරෙහි තල්ගස් හතක් පමණ ප්‍රමාණයට දිය අඩු වී සිටුනේ ය. මේ අයුරින් හය තලක්, පස්තලක්, සිවුතලක්, තුන්තලක්, දෙතලක්, එක්තලක් පමණට දිය මහා සමුද්‍රයෙහි අඩුවී පවතින්නේ ය. මීළඟට මහා සමුද්‍රයෙහි පුරුෂයන් සත්දෙනෙකුගේ උස ප්‍රමාණයට දිය ඉතිරිව පවතින්නේ ය. සිය පුරුෂයන් ප්‍රමාණයට ද, පස් පුරුෂයන් ප්‍රමාණයට ද සතර පුරුෂයන් ප්‍රමාණයට ද තුන් පුරුෂයන් ප්‍රමාණයට ද පුරුෂයන් දෙදෙනෙකුගේ ප්‍රමාණයට ද එක් පුරුෂයෙකුගේ ප්‍රමාණයට ද පුරුෂයෙකුගේ බාගයක ප්‍රමාණයට ද, තුනටිය ප්‍රමාණයට ද දණිස් ප්‍රමාණයට ද ගොප්ඇට ප්‍රමාණයට ද මහා මුහුදෙහි දිය ඉතිරිව පවත්නේ ය.
මහණෙනි, යම් පරිදි සරත් කාලයෙහි, මහ දිය පොද ඇති වැසි වසිනා කල්හි ඒ ඒ තැන්වල, දිය රැඳෙන තැන්වල දිය පැවතුනේ නම් ඒ ආකාරයෙන්ම ස්වල්ප වූ දිය මහ සයුරෙහි ඉතිරිව පැවතුනේ වෙයි. මහණෙනි, පස්වන හිරුගේ පහළවීමෙන් පසු ඇඟිලි පුරුක් තෙමන තරමට මතුවන දිය මහසයුරෙහි නොවන්නේ ය.
ලෝක විනාශය සිදුවීමේ දී ගොඩබිමද, විල්ද, ගංඟාවලද, මහ සමුද්‍රයෙහි ද ජලය සිඳීමෙන් සිදුවන විනාශය ඉහත පැහැදිලි විණි. වැසි නොවැටීමෙන් සිදුවූ මෙම විපත ජලයෙන් සිදු වූ විනාශයයි. ඊළඟට ආරම්භ වන්නේ ගින්නෙන් සිදුවන විනාශයයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කොට දේශනා කරති.
මහණෙනි, දිගු කලක් ඇවෑමෙන් කිසියම් කාලයෙක්හි යම්හෙයකින්, හයවන සූර්යයෙක් පහළවන්නේ ය. මහණෙනි, හයවන සූර්යයාගේ පහළවීමෙන් මේ මහපොළොවත්, සුනෙර පර්වතයත් දුම් දමන්නේ ය. මහත්සේ දුම් දමන්නේ ය. අතිමහත් සේ දුම් දමන්නේ ය. මහණෙනි, කුඹල්කරු උදුනෙහි හෙවත් ලිපෙහි ගිනි දල්වන්නේ පළමු පළමු යම්සේ දුම්දමාද මහත්සේ, අතිමහත් සේ දුම්දමාද, මහණෙනි, ඒ ආකාරයෙන්ම මේ මහා පොළොවත් සුනෙර පර්වත රාජයාත් ඒ හයවන හිරුගේ පහළවීමෙන් දුම්දමන්නේ ය. මහත්සේ දුම්දමන්නේ ය. ඉතාමහත්සේ දුම් දමන්නේ ය.
නැවතත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.
මහණෙනි, යම් ආකාරයකින්, දීර්ඝ කාලයක් ඇවෑමෙන් පසුව සත්වන සූර්යයෙක් පහළවන්නේ ය. මහණෙනි, සත්වන හිරුගේ පහළවීමෙන් මේ මහපොළොවද සිනෙරු පර්වත රාජයා ද ගිනිගෙන ඇවිළෙයි. දිලිහෙයි. එකම ගිනි ජාලාවක් බවට පත්වෙයි. මහණෙනි, මේ මහපොළොවත් සිනෙරු පර්වතයත් දැවි දැවී යත්ම වාතයෙන් විසිවී, එනම් පාවීයමින් ගින්දර බඹලොව දක්වාම යති.
මහණෙනි, ඇවිළගිය, දැවෙන මහාගිනිකඳින් මැඩුනු සිනෙරු පර්වත රාජයාගේ සියක් යොදුන් උසැති කූටයෝ ද බිඳ වැටෙති. දෙසීයක් උසැති, තුන්සීයක් උසැති, හාරසීයක් යොදුන් උසැති, පන්සීයක් යොදුන් උසැති ගල් කුළුහුද බිඳ වැටෙති.
“මහණෙනි, ඇවිළගත් දැවෙන මේ මහපොළොවෙහිද සිනෙරු පර්වත රාජයාගේ ද අළු හා දැලි නොපෙනේ. මහණෙනි, ඇවිළ ගෙන දැවෙන ගිතෙල් හි හෝ යම්තෙල්හි අළු හෝ දැලි නොපෙනෙන්නේද, එසේම ඇවිළගෙන දැවෙන මේ මහපොළොවෙහි හා සිනෙරු පර්වත රාජයාගේ ද අළු හා දැලි නොපෙනෙයි.” “මහණෙනි, මේ මහාපොළොවෙහි හා සිනෙරු පර්වතරාජයා ගින්නෙන් දැවෙන්නාහ. වැනසෙන්නාහ. නොපවත්නාහයි සෝතාපන්නයන් හැර වෙන කවරෙක් කතා කිරීමට සමත්වේද? අදහන්නේ ද?
මෙයට පිළිතුරු දීමට භාග්‍යවතුන් වහන්සේ මෙවැනි කතා පුවතක් ගෙනහැර දක්වති. එය උතුම් වූ අවවාදයකි.
“මහණෙනි, පෙරසිදුවීමකි. දෘෂ්ටියක් ඇතිකරගත්, කාමයන්හි රාගය පහකළ සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් විය. සුනෙත්ත ශාස්තෘවරයාට නොයෙක්, සියගණන් ශ්‍රාවකයෝ වූහ. මහණෙනි, සුනෙත්ත ශාස්තෘවරයා බ්‍රහ්මලෝකයට යාම පිණිස ශ්‍රාවකයනට දහම් දෙසති.” “මහණෙනි, බ්‍රහ්මලෝකයට යාම පිණිස දහම් දෙසන සුනෙත්ත ශාස්තෘහුගේ අනුශාසනය යම්කෙනෙක් සියලු ආකාරයෙන් දැන ගත්තේ ද, ඔහු මරණින් මතු සුගති සංඛ්‍යාත බ්‍රහ්මලෝකයෙහි ඉපදුනාහ. යමෙක් අනුශාසනය සියලු ආකාරයෙන් නොපිළිපැද්දේද, ඔහු මරණින් මතු පරනිම්මිත වසවත්තියෙහි ඉපදුනාහ. ඇතැම්හු නිම්මාණරති දෙවියන් සමීපයේද, ඇතැමෙක් තුසිත දෙවියන් සමීපයේද, ඇතැම්හු යාම දෙවියන් සමීපයේද, ඇතැම්හු තාවතිංස දෙවියන් සමීපයේද, ඇතැම්හු චාතුම්මහාරාජික දෙවියන් සමීපයේද ඉපදුනාහ. ඇතැම්හු ක්ෂත්‍රිය මහා සාරයන් වෙතද, ඇතැම්හු බ්‍රාහ්මණ මහා සාරයන්වෙතද, ඇතැම්හු ගෘහපති මහාසාරයන් වෙතද ඉපදුණාහ. මෙම සුනෙත්ත ශාස්තෘවරයාට මෙබදු සිතක් පහළ විය. පරලොව දී ශ්‍රාවකයන් හා සමානව ඉපදුනොත් එය මට නොගැළපෙයි. එමනිසා මෛත්‍රී ධපනය වඩන්නෙමියි යනුවෙනි. සුනෙත්ත ශාස්තෘවරයා සත්වසක් මෛත්‍රී ධ්‍යානය වඩා සත්තසංවට්ටවිවට්ඨ කල්පයක් මිනිස් ලොව උපදින්නට නොපැමිණේ ය.
බුදුදහමට අනුව ලෝක විනාශය සිදුවන්නේ ලෝකවාසී සත්වයන්ගේ රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් බහුලවීම නිසයි. මෙම කෙලෙස් මුල්කරගෙන සත්වයන් විසින් අප්‍රමාණ අකුසල් රැස් කරති. මේ නිසාම වතුරෙන්, ගින්නෙන් හා සුළඟින් ලෝක විනාශය සිදුවෙයි.
බෞද්ධ දර්ශනයට අනුව පවසන්නේ නම් ලෝකය නම් වූ ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ගෙන් ඇතිවන භයානක විනාශයෙන් සදහටම මිදීමට තෘෂ්ණාව මුළුමනින්ම ප්‍රහාණය කිරීමය. එවිට කිසිදු ලෝක විනාශයක් ගැන බියක් නැත.