යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

එදා බුදුරදුන් දුටු ලෝකය මෙදා විදු ඇසින් දැකීම

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ 
හෑගොඩ විපස්සි හිමි
ආලෝක වර්ෂ 1400 කටත් වඩා ඈතින් පිහිටා ඇති අපේ පෘථිවිය මෙන් හැට ගුණයකින් විශාල වූ ඊට සමාන අළුත් ග්‍රහලෝකයක් නාසා ආයතනය විසින් සොයා ගන්නා ලදැයි යන පුවත පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත් විය. ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයට යොමු වූ එම පුවත ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ සිත් සතන් මීට වසර දෙදහස් පන්සිය පනස් නවයක් තරම් වූ දුරාතීතයකට අරමුණු වූවා නිසැකය. ඒ අන් කිසිදු හේතුවක් නිසා නොව එදා බුදුරජාණන් වහන්සේ දුටු දස දහසක් චක්‍රාවාට මේ ආකාරයට අද විදු ඇසින් ප්‍රත්‍යක්ෂ වෙමින් පවතින නිසාය.
ඍග්වේදයේ විශේෂයෙන් දසවන මණ්ඩලයේ ඉගැන්වීම බුදුදහම හැර ලොව සෙසු ආගම් බිහිවීමට බෙහෙවින් බලපා තිබේ. ආගමික මත පිළිබඳව ප්‍රශ්න කළ ඇතැම් විද්‍යාඥයින්ට සිදු වූයේ තම ජීවිත වලින් වන්දි ගෙවීමටය. එහෙත් බුදු දහම අන් සියලු ආගම් වලට වෙනස් වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඕනෑම ධර්ම කාරණයක් ඕනෑම පුද්ගලයෙකුට ප්‍රශ්න කිරීමට විමර්ශනය කිරීමට හැකි වන නිසාය.
බුදු දහමට අනුව මේ පෘථිවි තලය කවරෙකු හෝ මවන ලද්දක් නොවේ.
බුදු දහමට අනුව මේ විශ්වයේ මුලක්,මැදක් හෝ අගක් නැත. විශ්වය අනවරාග්‍ර වන්නේ ඒ නිසාය. මේ සඳහා සංයුක්ත නිකායේ “අනමතත්ගෝයං සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති’ යන දේශනා පාඨය ගෙන හැර දැක්විය හැකිය. විශ්වය කලින් කල ඇතිවී විකාශය වන්නකි. මේ බව අග්ගඤ්ඤ සූත්‍රය, සත්ත සිරිසුග්ගම සූත්‍රය ආදී සූත්‍ර දේශනා වලින් ප්‍රකට වේ. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් ලොව ඇතිවී විකාශනය වී නැතිවී යන ආකාරය පිළිබඳව මෙසේ පැවසේ. “හොති ඛො සො වාසෙට්ඨ සමයො යං කදාචි කරහව් දිගස්ස අද්ධුනො අච්චයෙන අයං ලෝකො සංවට්ටති වීවට්ඨති...
වාසෙට්ඨයෙංනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් කිසියම් කාලයක මේ ලොව වැනසෙයි. එසේ ලොව වැනසෙන කාලය සංවට්ට කල්පයයි. විශ්වය හටගෙන විකාශය වන කාලය විවට්ට කල්පයයි.
විසුද්ධි මාර්ගය වැනි අටුවා වල මෙම කල්ප තවදුරටත් විස්තර කොට දක්වා තිබේ. ඒ අනුව විනාශ වන කල්පය සංවට්ට ලෙසද විනාශ වී පවත්නා කල්පය සංවට්ටම්ඨායි ලෙසද විනාශ වී වැඩෙන කල්පය විවට්ටයි ලෙස සහ වර්ධනය වී පවතින කල්පය විවට්ටට්ඨායි ලෙසය.
කල්පය යන්නට අරුත් කිහිපයක් වේ. ආයුෂ කල්පයක් යනු මනුෂ්‍යයෙකු උපරිම වශයෙන් ජීවත්වන කාලයයි. එහෙත් ලෝක විනාශයේදී මෙහි කල්පයක් ලෙස විග්‍රහ කෙරෙනුයේ අතිදීර්ඝ කාල පරාසයකි. කල්පයක් යනු කොතරම් දීර්ඝ කාලයක්දැයි සංයුක්ත නිකායේ සාසපොපමාවත්, පබ්බතෝපමාවත් යන උපමාවන්ගෙන් මනාව පැහැදිලි වන්නකි. එහි සඳහන් සාසප නැතිනම් අබ ඇට උපමාව මෙසේය.
දිගින් පළලින් සහ උසින් යොදුන බැගින් වූ අයෝමය චතුරස්‍රයක් සාදා එය අබ ඇට වලින් පුරවනු ලබයි. යමෙකු වසර සියයක් ගත වූ තැන පෙර සඳහන් අබ ඇට ගොන්නෙන් එක් අබ ඇටයක් ඉවත් කරන ආකාරයට දිගින් පළලින් උසින් යොදුනක් වූ අබ ඇට පෙට්ටියෙන් අබ ඇටය බැගින් ඉවත් කොට යම් දිනයක අබ ඇට පෙට්ටියම හිස් කරන්නේද, එදින කල්පය සම්පූර්ණ වූ බවය. මෙහිදී යොදුනක් යන්නද තවදුරටත් පැහැදිලි කරන්නේ නම් එය සැතපුම් 16 ක් පමණ වන විටදී විශ්වය සම්බන්ධයෙන් කල්ප විවරණය කොතෙක් නම් දීර්ඝ කාලපරාසයක්දැයි පැහැදිලිකිරීම අවශ්‍ය වන්නේ නැත.
අද වන විට නවීන විද්‍යාව තුලින් සොයා ගත්තද අප මේ ජීවත්වන පෘතුවියට අමතරව තවත් ලෝක දස දහසක් පවතින බව මුලින්ම ලොවට හෙළිකරන ලද්දේ බුදුරජාණන් වහන්සේය. මේ සඳහා හොඳම නිදසුන අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වර්ගයේ දස වැනි සූත්‍රයයි. මෙම සූත්‍රයට විශේෂ නමක් බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ සඳහන්ව නොතිබුණද ඇතැමෙක් එය චූලනිකා සූත්‍රය වශයෙන් නම් කොට තිබේ. එහි සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට මෙසේ වදාළ සේක.
ආනන්ද , සඳහිරු, දෙදෙනා යම්තාක් ප්‍රදේශයක ගමන් කරද්ද? බබලමින් සියලු දිශා ආලෝකමත් කරද්ද? එබඳු දහසක් චක්‍රමාලා ලොව වෙයිද? ඒ දහසක් චක්‍රමාලයන්හි සඳ හිරු දහස බැගින් වෙයි. දහසක් මේරු පර්වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගෝයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්ව දේහ වෙයි. මහා සමුද්‍ර භාර දහසක් වෙයි. වරම් රජවරු හාර දහසක් වෙයි. චාතුර්මහාරාජික , තව්තිසා , යාම , තුසිත, නිර්මාණ ,රතී, පරනිම්මිත, වසවර්ති ආදි දිව්‍ය ලෝක දහස බැගින් වෙයි. ආනන්දයෙනි,මේ දහසක් සක්වලින් යුත් චූලනිකා ලෝක ධාතුවයි.
මෙබඳු සහස්සී චූලනිකා ලෝකධාතු දහසක් ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතුවයි. මෙය ශ්‍රාවකයිනට විෂය නොවන්නකි. බුදුරජාණන් වහන්සේටම විෂය වන්නකි. මෙසේ ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතු දහසක් තිසහස්සී මහාසහස්සී ලෝක ධාතුවයි. කෝටි ලක්ෂයක් චක්‍රාවාටයන් මෙහි ඇතුළත්ය. ආදී වශයෙන් අංගුත්තර නිකායේ තික නිපාතයේ එන මෙම සූත්‍රයෙන් විස්තර කොට තිබේ. එම සූත්‍රයෙන් පැවසෙන දෙය සරලව මෙසේ පැහැදිලි කළ හැකිය.
එනම් එක් ඉරකින් සහ එක් සඳකින් ආලෝකය පැතිරෙන ප්‍රමාණය සක්වළකි.නැතහොත් චක්‍රාවාටයකි. එබඳු චක්‍රාවාට දහසක් සහස්සී චූලනිකා ලෝක ධාතුවයි.සහස්සී චූලනිකා ලෝකධාතු දහසක් (1000ය 1000 =1000000) ද්විසහස්සී මජ්ක්‍ධිමිකාලෝක ධාතුවයි. ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතු දහසක් (1000000ය1000 =1000000000) තිසහස්සී මහාසහස්සීලෝක ධාතුවයි. මෙහි එන ගණිත ක්‍රමය පිළිබඳව අටුවාවේ විස්තර කොට තිබේ.
නවීන විද්‍යානුකූලව සඳු යනු ආලෝකය විහිදුවන වස්තුවක් නොවේ. එහෙත් මෙම සූත්‍රයට අනුව එලෙස සඳහන් වන්නේ එකල පැවති කතා ව්‍යවහාරයට අනුවය. එය සම්මුති දේශනාවයි. මේ ආකාරයේ ලෝක ධාතු පිළිබඳව සඳහන් වන තවත් සූත්‍රයක් වන්නේ සංඛාරුප්පත්ති සූත්‍රයයි.
අපවත්වී වදාළ පූජ්‍යපාද තලල්ලේ ධම්මානන්ද මහානායක ස්වාමින්වහන්සේද මේ පිළිබඳව ඉතා හොඳ විවරණයක් සපයා තිබේ. එය මෙසේ උපුටා දක්වන්නේ උන්වහන්සේගේ විචක්ෂණ භාවය ප්‍රකට කරනු සඳහාය.
ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය හාලෝ ෂැප්ලිගේ මතයට පසුව අපේ පෘතුවියේ මෙන් ජීවි සතුන් සිටින ග්‍රහලෝක යටත් පිරිසෙයින් ලක්ෂ කෝටියක් වත් විශ්වයේ තිබේ. චක්‍රවාට ,චක්‍රවාල, සක්වළ යනු මෙම ලෝකධාතු වලටම භාවිතා කරන තවත් නම්ය. ඒ චක්‍රාකාර හැඩයෙන් ලෝකධාතුව භ්‍රමණය වන නිසාය. සක්වළ යන වචනය මෙකල වැරදි ලෙස යොදනු ලබන තැන්ද ඇත. අපට පෙනෙන සඳ තිබෙන්නේ පිටසක්වලක නොවේ. සඳ පමණක් නොවේ සෞර ග්‍රහමණ්ඩලයේ ග්‍රහලෝකද මේ ලෝක ධාතුවට අයත් ඉරවල් ඇතුළු සෞරමණ්ඩල සියල්ලක්ද අපේ සක්වළට අයත්ය. මෙම සක්වළට බුද්ධ ග්‍රන්ථවල සඳහන් වන්නේ සහස්සී ලෝකධාතු යන නමයි. නවීන විද්‍යාඥයන් භාවිතා කරන්නේ ක්ෂීර පථ යන නාමයයි.
මූලික බෞද්ධ මතයත් නවීන මතයටත් අනුව විශ්වයෙහි කුඩාම කොටස වන්නේ සූර්යයන් දහස් ගණනක් පවතින සහස්සී චූලනිකා ලෝක ධාතුවයි. බෞද්ධ මතය අනුව මේ සහස්සී චූලනිකා ලෝක ධාතු පිහිටා තිබෙන්නේ පුඤ්ජ වශයෙනි. මෙවැනි ලෝක ධාතු දශකයක් ඇති ලෝක ධාතු පුඤ්ජය දස සහස්සී ලෝකධාතු යනුවෙන් හැඳින්වේ. මෙවැනි ලෝක ධාතු සතරක් ඇති ලෝකධාතු පුඤ්ජය චතුසහස්සී ලෝක ධාතු නම්වේ. සියයක් ඇති තැන සතසහස්සී ලෝකධාතු වෙයි. මෙවැනි ලෝක ධාතු පිළිබඳව සංඛාරාප්පත්ති සූත්‍රයෙහි පැහැදිලිව සඳහන් කොට තිබේ.
මෙසේ ද්විගුණව දහස් ගණනින් එකට එක්ව පවතින මේ ලෝකධාතු පුඤ්ජය ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතු නම් වේ. අප සිටින ලෝක ධාතු පුඤ්ජයේ ඉතා ආසන්නවම ප්‍රධාන ලෝකධාතු දහයක් පිහිටා ඇත. ඊට ඈතින් පිහිටි තරමක් කුඩා ලෝක ධාතුන් සමඟ ගණනය කරන විට සියල්ල විස්සක් වේ. කන්‍යා රාශිය වශයෙන් අපට පෙනෙන ප්‍රදේශයේ ලෝක ධාතු දහසක් එකට පිඬුවී පවතී. මෙම ලෝකධාතු පුඤ්ජ හෙවත් දෙවෙනි දහස් ගණනක් වූ ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලෝකධාතු දහස් ගණනින් පිඬු වූ ප්‍රදේශය මුළුමහත් විශ්වයයි. එනම් තෙවැනි දහස් ගණන වූ තිසහස්සි මහා සහස්සී ලෝක ධාතුවයි. මහාලෝක ධාතු යැයි කියනු ලබන්නේ මෙයයි.
මෙලෙස විමසා බලන විටදී නවීන මතයටද මෙය හැර වෙනකක් නැත. ඇතැම් තාරකා විද්‍යාඥයෝ එයට අධිලෝක ධාතුව යැයි ද පවසති.
බුදුදහමට අනුව සක්වළකට සීමාවක් පැනවිය හැකිය. එය නම් එක් ඉරකින් ආලෝකමත් වන ග්‍රහයන් එක් සක්වළක් ලෙසය.මෙම සීමාවෙන් ඔබ්බට තවත් දහස් ගණනින් සක්වළවල් තිබේ. සිතා බැලීමෙන් සීමාවකට පිවිසිය නොහැකි කරුණු සතරෙන් එකක් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝක විෂයයි.ලෝක චිත්තාභික්ඛවේ අචින්තෙය්‍යන චින්තෙතබ්බා යං චින්තෙත්තෝ උම්මාදස්ස විසාතස්ස භාගි අස්ස”
අංගුත්තර නිකාය එසේ සඳහන් වන අචින්තෙය්‍ය පාඨයෙන් පැවසෙන්නේ ලෝක විෂය පිළිබඳව සිතීමෙන් උමතුවිය හැකි බවත් දැඩි දුකට හේතුවන බවත්ය.
මෙහි අරුත වන්නේ මෙම විෂය සම්බන්ධයෙන් විද්‍යාඥයින්ට පර්යේෂණ කිරීම නුසුදුසුය යන්න නොවේ. ලෝක විෂය සම්බන්ධයෙන් කොතෙක් පර්යේෂණ කළද එහි සීමාවක් නොමැති බවය. ඇතැම් විට මේ අසීමිත ලෝක ධාතුව පිළිබඳව දිගින් දිගටම සිතීම උමතු බවට හේතුවක් විය හැකි බවය. මේ අයුරින් ලෝක විෂය සම්බන්ධයෙන් කොතෙකුත් අදහස් ත්‍රිපිටකයේ සඳහන්ය.

කැඩෙන බිඳෙන ලෝකය බුදුදහමේ ඇසින්

වර්තමානයෙහි ලෝක විනාශය පිළිබඳ විවිධ අදහස් සහ උපකල්පන පැතිරෙමින් පවතී. මේ පිළිබඳව බුදුදහමෙහි සූත්‍ර දේශනාවල ඇතුළත් අදහස් කුමක්ද? මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ පුද්ගලික අදහස් නොමැතිව බුදුරජාණන්වහන්සේ විසින්ම දේශනා කළ බවට පිළිගැනෙන ත්‍රිපිටකයෙහි අඩංගු සූත්‍ර දේශනා ඇසුරින්ම විස්තරයක් ඉදිරිපත් කිරීමය. අංගුත්තර නිකායේ සත්තක නිපාතයෙහි දෙවන පණ්ණාසකයේ, මහාවග්ගයේ ඇතුළත් සත්ත සුරියුග්ගමන සූත්‍ර දේශනාව, මේ පිළිබඳව මනාවූ විස්තරයක් ඉදිරිපත් කරයි. එම සූත්‍ර දේශනාවේ අඩංගු සම්පූර්ණ කරුණු මෙහි ඇතුළත් කරන්නේ නිවැරැදි අදහසක් ලබා ගැනීම පිණිසය.
භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙහි, අම්බපාලි වනයෙහි වැඩවසන්නේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කොට මෙසේ දේශනා කළහ. “මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයයි. අස්ථිරයි. සැනසීමක් නැහැ. සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම හෙවත් සංවේගය ඇතිකරගැනීමට මේ කාරණයම ප්‍රමාණවත්ය. නොඇලී සිටීමට ප්‍රමාණවත්ය. මේ සියලු සංස්කාරයන්ගෙන් මිදීමට ප්‍රමාණවත්ය. “මෙහි සංස්කාර ලෙස අදහස් කළේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක සෑම වස්තූන්මය. තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.
“මහණෙනි, සිනෙරු පර්වතය දිගින් යොදුන් සුවාසු දහසකි. පළලින් යොදුන් සුවාසු දහසකි. සුවාසු දහසක් යොදුන් මහ සයුරෙහි ගිලී සිටියේ ය. සුවාසූදහසක් යොදුන් මහමුහුදින් උඩට නැඟී සිටියේ ය.”
මහණෙනි, යම් ආකාරයකින් බොහෝ වර්ෂයක්, බොහෝ වර්ෂ සීයක්, බොහෝ වර්ෂ දහසක් බොහෝ වර්ෂ සිය දහසක් වර්ෂාව නොවන්නේ ය. මහණෙනි, මෙසේ වැසි නොවැසීම නිසා බීජයන්ද, වෘක්ෂලතා, ඖෂධ, තෘණ, කැලෑවෝ පවතී නම් මේ සියල්ලම වියළෙති. විශේෂයෙන්ම, එනම් මුළුමනින්ම වියළෙති. නැවත නොවැඩෙති.
මහණෙනි, මෙසේ මෙම සියලු සංස්කාරයෝ අනිත්‍යයයි. අස්ථිරයි. සැනසීමක් නැත්තේමය. මේ නිසා සියලු සංස්කාරයන්හි කලකිරීම හෙවත් සංවේගයට මෙයම ප්‍රමාණවත් ය. නොඇලීමට ප්‍රමාණවත් ය. මිදෙන්නට ප්‍රමාණවත්ය.
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනු ලබන මීළඟ විස්තරය ලෝක විනාශය පිළිබඳව ඉතා වැදගත් කොටසකි. එනම්, “මහණෙනි, දිගුකල් ඇවෑමෙන් කිසියම් කලෙක දෙවෙනි සූර්යයෙක් පහළ වන්නේ ය. මහණෙනි, දෙවෙනි සූර්යයාගේ, පහළවීම නිසා කුඩා ගංගාවෝ ද, කුඩා දියවිල්ද, වියළෙති. මුළුමනින්ම වියළෙති. නොවැඩෙති.”
“මහණෙනි, දීර්ඝ කාලයක ඇවෑමෙන්, කිසියම් කලෙක තෙවන සූර්යයෙක් පහළ වන්නේ ය. මහණෙනි, තෙවැනි හිරුගේ පහළ වීම නිසා ගංඟා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මහා ගංඟාවෝ වියළෙති. මුළුමනින්ම වියළෙති. නොවැඩෙති. මෙම සෑම කෙටි විස්තරයකින් පසුවම භාග්‍යවතුන් වහන්සේ සංස්කාර වස්තූන්හි ඇති අනිත්‍යතාව පිළිබඳ සිහිපත් කොට සංවේගය, නොඇලීම සහ එම සංස්කාර වස්තූන්වලින් මිදීමට සුදුසු බව අවධාරණය කරති.
“මහණෙනි, දීර්ඝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක, යම්හෙයකින් සතරවන සූර්යයෙක් පහළ වන්නේ ය. එම සතරවන සූර්යයාගේ පහළවීම නිසා යම් තැනකින් මහා නදීහු උපදින්නේ නම් එම මහවිල්ද එනම් අනෝතත්ත, සිංහ ප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, කුණාල, ෂඩ්දන්ත, මන්දාකිනි නම් වූ මහවිල්හු වියළෙති. මුළුමනින් වියැළෙති නොවැඩෙති.”
මහණෙනි, දීර්ඝ කාලයක ඇවෑමෙන් පසුව, කිසියම් කලෙක, යම්හෙයකින් පස්වන සූර්යයෙක් පහළවන්නේ ය. පස්වන හිරුගේ පහළවීම නිසා මහ මුහුදෙහි සියක් යොදුන් දිය පහළ බසින්නේ ය. මහා සමුද්‍රයෙහි දෙසීයක් යොදුන් දිය පහළ බසින්නේ ය. මහ සයුරෙහි තුන්සියයක් යොදුන් දිය පහළ බසින්නේ ය. මේ ලෙස හාරසිය, පන්සිය, හයසිය සහ සත්වන යොදුන් දිය පහළ බසින්නේ ය. මහසයුරෙහි තල්ගස් හතක් පමණ ප්‍රමාණයට දිය අඩු වී සිටුනේ ය. මේ අයුරින් හය තලක්, පස්තලක්, සිවුතලක්, තුන්තලක්, දෙතලක්, එක්තලක් පමණට දිය මහා සමුද්‍රයෙහි අඩුවී පවතින්නේ ය. මීළඟට මහා සමුද්‍රයෙහි පුරුෂයන් සත්දෙනෙකුගේ උස ප්‍රමාණයට දිය ඉතිරිව පවතින්නේ ය. සිය පුරුෂයන් ප්‍රමාණයට ද, පස් පුරුෂයන් ප්‍රමාණයට ද සතර පුරුෂයන් ප්‍රමාණයට ද තුන් පුරුෂයන් ප්‍රමාණයට ද පුරුෂයන් දෙදෙනෙකුගේ ප්‍රමාණයට ද එක් පුරුෂයෙකුගේ ප්‍රමාණයට ද පුරුෂයෙකුගේ බාගයක ප්‍රමාණයට ද, තුනටිය ප්‍රමාණයට ද දණිස් ප්‍රමාණයට ද ගොප්ඇට ප්‍රමාණයට ද මහා මුහුදෙහි දිය ඉතිරිව පවත්නේ ය.
මහණෙනි, යම් පරිදි සරත් කාලයෙහි, මහ දිය පොද ඇති වැසි වසිනා කල්හි ඒ ඒ තැන්වල, දිය රැඳෙන තැන්වල දිය පැවතුනේ නම් ඒ ආකාරයෙන්ම ස්වල්ප වූ දිය මහ සයුරෙහි ඉතිරිව පැවතුනේ වෙයි. මහණෙනි, පස්වන හිරුගේ පහළවීමෙන් පසු ඇඟිලි පුරුක් තෙමන තරමට මතුවන දිය මහසයුරෙහි නොවන්නේ ය.
ලෝක විනාශය සිදුවීමේ දී ගොඩබිමද, විල්ද, ගංඟාවලද, මහ සමුද්‍රයෙහි ද ජලය සිඳීමෙන් සිදුවන විනාශය ඉහත පැහැදිලි විණි. වැසි නොවැටීමෙන් සිදුවූ මෙම විපත ජලයෙන් සිදු වූ විනාශයයි. ඊළඟට ආරම්භ වන්නේ ගින්නෙන් සිදුවන විනාශයයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කොට දේශනා කරති.
මහණෙනි, දිගු කලක් ඇවෑමෙන් කිසියම් කාලයෙක්හි යම්හෙයකින්, හයවන සූර්යයෙක් පහළවන්නේ ය. මහණෙනි, හයවන සූර්යයාගේ පහළවීමෙන් මේ මහපොළොවත්, සුනෙර පර්වතයත් දුම් දමන්නේ ය. මහත්සේ දුම් දමන්නේ ය. අතිමහත් සේ දුම් දමන්නේ ය. මහණෙනි, කුඹල්කරු උදුනෙහි හෙවත් ලිපෙහි ගිනි දල්වන්නේ පළමු පළමු යම්සේ දුම්දමාද මහත්සේ, අතිමහත් සේ දුම්දමාද, මහණෙනි, ඒ ආකාරයෙන්ම මේ මහා පොළොවත් සුනෙර පර්වත රාජයාත් ඒ හයවන හිරුගේ පහළවීමෙන් දුම්දමන්නේ ය. මහත්සේ දුම්දමන්නේ ය. ඉතාමහත්සේ දුම් දමන්නේ ය.
නැවතත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.
මහණෙනි, යම් ආකාරයකින්, දීර්ඝ කාලයක් ඇවෑමෙන් පසුව සත්වන සූර්යයෙක් පහළවන්නේ ය. මහණෙනි, සත්වන හිරුගේ පහළවීමෙන් මේ මහපොළොවද සිනෙරු පර්වත රාජයා ද ගිනිගෙන ඇවිළෙයි. දිලිහෙයි. එකම ගිනි ජාලාවක් බවට පත්වෙයි. මහණෙනි, මේ මහපොළොවත් සිනෙරු පර්වතයත් දැවි දැවී යත්ම වාතයෙන් විසිවී, එනම් පාවීයමින් ගින්දර බඹලොව දක්වාම යති.
මහණෙනි, ඇවිළගිය, දැවෙන මහාගිනිකඳින් මැඩුනු සිනෙරු පර්වත රාජයාගේ සියක් යොදුන් උසැති කූටයෝ ද බිඳ වැටෙති. දෙසීයක් උසැති, තුන්සීයක් උසැති, හාරසීයක් යොදුන් උසැති, පන්සීයක් යොදුන් උසැති ගල් කුළුහුද බිඳ වැටෙති.
“මහණෙනි, ඇවිළගත් දැවෙන මේ මහපොළොවෙහිද සිනෙරු පර්වත රාජයාගේ ද අළු හා දැලි නොපෙනේ. මහණෙනි, ඇවිළ ගෙන දැවෙන ගිතෙල් හි හෝ යම්තෙල්හි අළු හෝ දැලි නොපෙනෙන්නේද, එසේම ඇවිළගෙන දැවෙන මේ මහපොළොවෙහි හා සිනෙරු පර්වත රාජයාගේ ද අළු හා දැලි නොපෙනෙයි.” “මහණෙනි, මේ මහාපොළොවෙහි හා සිනෙරු පර්වතරාජයා ගින්නෙන් දැවෙන්නාහ. වැනසෙන්නාහ. නොපවත්නාහයි සෝතාපන්නයන් හැර වෙන කවරෙක් කතා කිරීමට සමත්වේද? අදහන්නේ ද?
මෙයට පිළිතුරු දීමට භාග්‍යවතුන් වහන්සේ මෙවැනි කතා පුවතක් ගෙනහැර දක්වති. එය උතුම් වූ අවවාදයකි.
“මහණෙනි, පෙරසිදුවීමකි. දෘෂ්ටියක් ඇතිකරගත්, කාමයන්හි රාගය පහකළ සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් විය. සුනෙත්ත ශාස්තෘවරයාට නොයෙක්, සියගණන් ශ්‍රාවකයෝ වූහ. මහණෙනි, සුනෙත්ත ශාස්තෘවරයා බ්‍රහ්මලෝකයට යාම පිණිස ශ්‍රාවකයනට දහම් දෙසති.” “මහණෙනි, බ්‍රහ්මලෝකයට යාම පිණිස දහම් දෙසන සුනෙත්ත ශාස්තෘහුගේ අනුශාසනය යම්කෙනෙක් සියලු ආකාරයෙන් දැන ගත්තේ ද, ඔහු මරණින් මතු සුගති සංඛ්‍යාත බ්‍රහ්මලෝකයෙහි ඉපදුනාහ. යමෙක් අනුශාසනය සියලු ආකාරයෙන් නොපිළිපැද්දේද, ඔහු මරණින් මතු පරනිම්මිත වසවත්තියෙහි ඉපදුනාහ. ඇතැම්හු නිම්මාණරති දෙවියන් සමීපයේද, ඇතැමෙක් තුසිත දෙවියන් සමීපයේද, ඇතැම්හු යාම දෙවියන් සමීපයේද, ඇතැම්හු තාවතිංස දෙවියන් සමීපයේද, ඇතැම්හු චාතුම්මහාරාජික දෙවියන් සමීපයේද ඉපදුනාහ. ඇතැම්හු ක්ෂත්‍රිය මහා සාරයන් වෙතද, ඇතැම්හු බ්‍රාහ්මණ මහා සාරයන්වෙතද, ඇතැම්හු ගෘහපති මහාසාරයන් වෙතද ඉපදුණාහ. මෙම සුනෙත්ත ශාස්තෘවරයාට මෙබදු සිතක් පහළ විය. පරලොව දී ශ්‍රාවකයන් හා සමානව ඉපදුනොත් එය මට නොගැළපෙයි. එමනිසා මෛත්‍රී ධපනය වඩන්නෙමියි යනුවෙනි. සුනෙත්ත ශාස්තෘවරයා සත්වසක් මෛත්‍රී ධ්‍යානය වඩා සත්තසංවට්ටවිවට්ඨ කල්පයක් මිනිස් ලොව උපදින්නට නොපැමිණේ ය.
බුදුදහමට අනුව ලෝක විනාශය සිදුවන්නේ ලෝකවාසී සත්වයන්ගේ රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් බහුලවීම නිසයි. මෙම කෙලෙස් මුල්කරගෙන සත්වයන් විසින් අප්‍රමාණ අකුසල් රැස් කරති. මේ නිසාම වතුරෙන්, ගින්නෙන් හා සුළඟින් ලෝක විනාශය සිදුවෙයි.
බෞද්ධ දර්ශනයට අනුව පවසන්නේ නම් ලෝකය නම් වූ ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ගෙන් ඇතිවන භයානක විනාශයෙන් සදහටම මිදීමට තෘෂ්ණාව මුළුමනින්ම ප්‍රහාණය කිරීමය. එවිට කිසිදු ලෝක විනාශයක් ගැන බියක් නැත.

මහ දවාලේත් යෝගාවචර භික්‍ෂුන් පෙනී නොපෙනී යන හාස්කම් වනපෙතක් අනුරාධපුරයෙන් හමුවේ…

දහවල් කාලයේදී පවා යෝගාවචර භික්‍ෂුන් වහන්සේලාගේ රූ අසිරිමත් අයුරින් පෙනී නොපෙනී යන බවට ආරංචි පැතිරයන ඉපැරණි ආරාමික වනපෙතක් පිළිබඳව අනුරාධපුරයෙන් වාර්තා වේ.
විජයාරාම යන නමින් හැඳින්වෙන මෙම විස්මිත ආරාමික වන අරණ පිහිටා ඇත්තේ අනුරාධපුර සමාධි පිළිමය, කුට්ටම් පොකුණ අද්දරින් වැටී ඇති ගල්පාලම පාරේ කි.මී.දෙකක් යන විට හමුවන රණවිරු ඉන්දික අනුර මාවතේ ය.
කි‍්‍ර.ව. හත්වන හෝ අටවන සියවසට අයත් යැයි සැළකෙන ඉපැරණි වන වාසයක් හෙවත් පබ්බත විහාරයක් වන මෙහි මුළු භූමි ප‍්‍රමාණය අක්කර විසිතුන කි. මුලුමනින් වනාන්තර ලක්‍ෂණ පළ කරන එම භූමිය තුළින් පැරණි ආරාමික නටබුන් හතළිස් තුනක් මේ වනවිට හමු වී තිබේ.
දහවල් කාලයේ පවා එක් වරම පෙනී නොපෙනී යන භික්‍ෂුන් වහන්සේලාගේ රූප මෙම වන පෙත තුළින් මතුවන්නට පටන්ගෙන ඇත්තේ සියවස් ගණනක් තිස්සේ වල් බිහිවී තිබූ එම වනපෙත මේ වසරේ මුල සිට පුරාවිද්‍යා ගවේෂණ සඳහා යටි කැලය කපා ඉවත් කිරීමෙන් පසුවය. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වරයාගෙ අනුමැතියයට තේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි ගවේෂණ කටයුතු අරඹා තිබේ.
ඒ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ (අනුරාධපුරය) සේවාසම්මානිත මහාචාර්ය ටී.පී.කුලතුංග ගේ අධීක්‍ෂණය යටතේය.
‘ඉස්සරමේ කැළයේ වලිගය තියන මිනිහෙක් ඉන්නවය කියලා කට කතා තිබුණා. ඒ හින්දා මේ අවට ගම්වල ගෑණු අය දර කෑල්ලක් කඩා ගන්නවත් ඔය කැළයට අඩියක් තිබ්බේ නැහැ. ඒත් මෑතක ඉඳලා ප‍්‍රසිද්ධවෙලා තියෙන්නේ ඔය කැළයේ වන වාසීභික්‍ෂුන්වහන්සේලාගේ රූපමැවිලා පේනවා කියලයි. කොටින්ම පහුගිය දවසක මේ ව්‍යාපෘතියට සම්බන්ධ මිස්කෙනෙකුත් දවල් එකොළහ මාරට විතර ඔහොම අමුතු දෙයක් දැකලා තියනවා. ඒත් පුදුමේ කියන්නේ ඒ මිස් මේ ව්‍යාපෘතියට අළුත්, ඒ වගේම මෙහේ ඔහොම දෙයක් වෙනවය කියලා මීට කලින් කිසිම දවසක අහලා තිබිලත් නැහැ’ එම ව්‍යාපෘතියේ සේවයකරන මුතුබණ්ඩා දසනායක මහතාකීය.
‘එමෙන්ම එම භික්‍ෂුන්වහන්සේලා දර්ශනය වීමෙන්පසු තමන්ට මින් පෙරකිසිදා අත්දකින්නට නොලැබුණු කායික මානසික සුවසහනයක් ලැබුණු බව ද එම අත් දැකීමට මුහුණදුන් අය ප‍්‍රකාශකරන බවද පැවසේ. එසේම ඒ සම්බන්ධයෙන් විශ්වාස කළ හැකි අන්දමේ තොරතුරු ලැබුණු බැවින් තමන්වහන්සේ ද පසුගිය දිනයෙක මෙම ආරාමික වන පෙත නිරීක්ෂණය කළ බවත් එහි කිසියම් අධ්‍යාත්මික හරයක් ඇති බවත් ඒ සම්බන්ධ තමන් වහන්සේගේ නිගමනයන් ඉදිරිකාලයේ දී ප‍්‍රකාශයට කරන බවත් අනුරාධපුර බුද්ධශ‍්‍රාවක බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාතේගෙ මඤාණිස්සර හිමියෝ කීහ.
(සෞම්‍යා මීගහවෙල ලක්බිම)
2014 ඔක්තෝබර් 02

ලෝක විනාශය ගැන බිය නොවීමට නම්...

වර්තමානයෙහි ලෝක විනාශය පිළිබඳ විවිධ අදහස්‌ සහ උපකල්පන පැතිරෙමින් පවතී. මේ පිළිබඳව බුදු දහමෙහි සූත්‍ර දේශනාවල ඇතුළත් අදහස්‌ මොනවාද? මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ පුද්ගලික අදහස්‌ නොමැතිව බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළ බවට පිළිගැනෙන ත්‍රිපිටකයෙහි අඩංගු සූත්‍ර දේශනා ඇසුරින් විස්‌තරයක්‌ ඉදිරිපත් කිරීමය. අංගුත්තර නිකායේ, සත්තක නිපාතයෙහි දෙවන පණ්‌ණාසකයේ, මහාවර්ගයේ ඇතුළත් සත්ත සූරියග්ගමන සූත්‍ර දේශනාව මේ පිළිබඳව මනාවූ විස්‌තරයක්‌ ඉදිරිපත් කරමිය. එම දේශනාවේ අඩංගු සම්පූර්ණ කරුණු මෙහි ඇතුළත් කරන්නේ නිවැරැදි අදහසක්‌ ලබාගැනීම පිණිසය.

භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙහි අම්බපාලි වනයෙහි වැඩවසන්නේ භික්‌ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කොට මෙසේ දේශනා කළහ. 'මහණෙනි, සංස්‌කාරයෝ අනිත්‍යයි. අස්‌ථිරයි. සැනසීමක්‌ නැත. සියලු සංස්‌කාරයන් කෙරෙහි කළකිරීම හෙවත් සංවේගය ඇතිකර ගැනීමට මේ කාරණයම ප්‍රමාණවත්ය. නොඇලී සිටීමට ප්‍රමාණවත්ය. මේ සියලු සංස්‌කාරයන්ගෙන් මිදීමට ප්‍රමාණවත්ය.' මෙහි සංස්‌කාර ලෙස අදහස්‌ කළේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සවිඤ්ඤාණික සහ අවිඤ්ඤාණික සෑම වස්‌තූන්මය. තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති,

මහණෙනි, සිනෙරු පර්වතය දිගින් යොදුන් සුවාසූදහසකි. පළලින් යොදුන් සුවාසූ දහසකි. සුවාසූ දහසක්‌ යොදුන් මහ සයුරෙහි ගිලී සිටියේය. සුවාසුදහසක්‌ යොදුන් මහමුහුදින් උඩට නැගී සිටියේය.'

'මහණෙනි, යම් ආකාරයකින් බොහෝ වර්ෂයක්‌, බොහෝ වර්ෂ සීයක්‌, බොහෝ වර්ෂ දහසක්‌, බොහෝ වර්ෂ සිය දහසක්‌ වර්ෂාව නොවන්නේය. මහණෙනි, මෙසේ වැසි නොවැසීම නිසා බීජයන්ද වෘත-ලතා-ඔෂධ, තෘණ, කැලෑවෝ පවතිත් නම්, මේ සියල්ල වියළෙති. විශේෂයෙන්ම එනම් මුළුමනින්ම වියළෙති. නැවත නොවැඩෙති.

'මහණෙනි මෙසේ සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි. අස්‌ථිරයි. සැනසීමක්‌ නැත්තේමය. මේ නිසා සියලු සංස්‌කාරයන්හි කළකිරීම හෙවත් සංවේගයට මෙයම ප්‍රමාණවත්ය. නොඇලීමට ප්‍රමාණවත්ය. මිදෙන්නට ප්‍රමාණවත්ය.'

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනු ලබන මීළඟ විස්‌තරය ලෝක විනාශය පිළිබඳව ඉතා වැදගත් කොටසකි. එනම්, 'මහණෙනි, දිගුකල් ඇවෑමෙන් කිසියම්ම කලෙක දෙවැනි සූර්යයෙක්‌ පහළ වන්නේය. මහණෙනි, දෙවැනි සූර්යයාගේ පහළවීම නිසා කුඩා ගංගාවෝද, කුඩා දියවිල්ද වියළෙති. මුළුමනින්ම වියළෙති. නොවැටෙති.'

'මහණෙනි, මෙසේ හෙයින් සංස්‌කාරයෝ අනිත්‍යයහ. අස්‌ථිරයි. සැනසීමට නම් නැත්තේමය. එබැවින් සංස්‌කාරයන්හි කළකිරීමට මෙයම ප්‍රමාණවත්ය. නොඇලීමට ප්‍රමාණවත්ය. මිදීමට ප්‍රමාණවත්ය.' 

'මහණෙනි, දීර්ඝ කාලයක ඇවෑමෙන්, කිසියම් කලෙක තෙවැනි සූර්යයෙක්‌ පහළවන්නේය. මහණෙනි, තෙවැනි හිරුගේ පහළවීම නිසා ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මහා ගංගාවෝ වියළෙති. මුළුමනින්ම වියළෙති. නොවැඩෙති.' මෙම සෑම කෙටි විස්‌තරයකින් පසුවම භාග්‍යවතුන් වහන්සේ සංස්‌කාර වස්‌තූන්හි ඇති අනිත්‍යතාව පිළිබඳ සිහිපත් කොට සංවේගය, නොඇලීම සහ එම සංස්‌කාර වස්‌තූන්වලින් මිදීමට සුදුසු බව අවධාරණය කරති.

'මහණෙනි, දීර්ඝ කාලයක්‌ ඇවෑමෙන් කිසියම් කලෙක, යම් හෙයකින් සතරවැනි සූර්යයෙක්‌ පහළ වන්නේය. එම සතරවැනි සූර්යයාගේ පහළවීම නිසා යම් තැනකින් මහා නදීහු උපදින්නේ නම් එම මහවිල්ද, එනම් අනෝතත්ත, සිංහප්‍රාපාත, රථකාර, කර්ණමුණ්‌ඩ, කුණාල, ෂඩ්දන්ත, මන්දාකිනි නම් වූ මහවිල්හු වියළෙති. මුළුමනින් වියළෙති. නොවැඩෙති.'

'මහණෙනි, දීර්ඝ කාලයක ඇවෑමෙන් පසුව කිසියම් කලෙක, යම් හෙයකින් පස්‌වැනි සූර්යයෙක්‌ පහළ වන්නේය. පස්‌වැනි හිරුගේ පහළවීම නිසා මහ මුහුදෙහි සියක්‌ යොදුන් දිය පහළ බසින්නේය. මහා සමුද්‍රයෙහි දෙසීයක්‌ යොදුන් දිය පහළ බසින්නේය. මහ සයුරෙහි තුන්සියයක්‌ යොදුන් දිය පහළබසින්නේය. මේ ලෙස හාරසිය, පන්සිය, හයසිය සහ සත් යොදුන් දිය පහළ බසින්නේය. මහසයුරෙහි තල්ගස්‌ හතක්‌ පමණ ප්‍රමාණයට දිය අඩුවී සිටුණේය. මේ අයුරින් හයතලක්‌, පස්‌තලක්‌, සිවුතලක්‌, තුන්තලක්‌, දෙතලක්‌, එක්‌තලක්‌ පමණ දිය මහා සමුද්‍රයෙහි අඩුවී පවතින්නේය. මීළඟට මහා සමුද්‍රයෙහි පුරුෂයන් සත් දෙනකුගේ උස ප්‍රමාණයට දිය ඉතිරිව පවතින්නේය. සය පුරුෂයන් ප්‍රමාණයටද, පස්‌ පුරුෂයන් ප්‍රමාණයටද, සතර පුරුෂයන් ප්‍රමාණයටද. තුන් පුරුෂයන් ප්‍රමාණයටද, පුරුෂයන් දෙදෙනකුගේ ප්‍රමාණයටද, එක්‌ පුරුෂයකුගේ ප්‍රමාණයටද, පුරුෂයකුගේ භාගයක ප්‍රමාණයටද, තුනටිය ප්‍රමාණයටද, දණිස්‌ ප්‍රමාණයටද, ගොප්ඇට ප්‍රමාණයටද මහා මුහුදෙහි දිය ඉතිරි පවත්නේය.

'මහණෙනි, යම් පරිදි සරත් කාලයෙහි, මහ දිය පොද ඇති වැසි වසිනා කල්හි ඒ ඒ තැන්වල දිය රැඳෙන තැන්වල දිය පැවතුණේ නම්, ඒ ආකාරයෙන්ම ස්‌වල්ප වූ දිය මහ සයුරෙහි ඉතිරිව පැවතුණේ වෙයි. මහණෙනි, පස්‌වැනි හිරුගේ පහළවීමෙන් පසු ඇඟිලි පුරුක්‌ තෙමෙන තරමට මතුවන දිය මහ සයුරෙහි නොවන්නේය.'

ලෝක විනාශය සිදුවීමේදී ගොඩබිමද, විල්ද, ගංගාවලද, මහා සමුද්‍රයෙහිද ජලය සිඳීමෙන් සිදුවන විනාශය ඉහත පැහැදිලි විණි. වැසි නොවැටීමෙන් සිදුවූ මෙම විපත ජලයෙන් සිදුවූ විනාශයයි. ඊළඟට ආරම්භ වන්නේ ගින්නෙන් සිදුවන විනාශයයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කොට දේශනා කරති.

'මහණෙනි, දිගු කලක්‌ ඇවෑමෙන් කිසියම් කාලයෙක්‌හි යම් හෙයකින් හයවැනි සූර්යයෙක්‌ පහළ වන්නේය. මහණෙනි, හයවැනි සූර්යයාගේ පහළවීමෙන් මේ මහ පොළොවත්, සුනෙර පර්වතයත් දුම් දමන්නේය. මහත්සේ දුම් දමන්නේය. අතිමහත් සේ දුම්දමන්නේය. මහණෙනි, කුඹල්කරු උදුනෙහි හෙවත් ලිපෙහි ගිනි දල්වන්නේ පළමු පළමු යම් සේ දුම් දමාද මහත් සේ, අතිමහත් සේ දුම්දමාද, මහණෙනි, ඒ ආකාරයෙන්ම මේ මහා පොළොවත් සුනෙර පර්වත රාජයාත් ඒ හයවැනි හිරුගේ පහළවීමෙන් දුම් දමන්නේය. මහත් සේ දුම් දමන්නේය. ඉමහත් සේ දුම් දමන්නේය.'

සියලු සංස්‌කාරයන්ගේ අනිත්‍ය බව සිහිපත් කරවන භාග්‍යවතුන් වහන්සේ, එහි සංවේගයට නොඇලීමට සහ එමගින් නිදහස්‌ වීමටම යුතු බව පැහැදිලි කරති. නැවතත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.

'මහණෙනි, යම් ආකාරයකින් දීර්ඝ කාලයක්‌ ඇවෑමෙන් පසුව සත්වැනි සූර්යයෙක්‌ පහළවන්නේය. මහණෙනි, සත්වැනි හිරුගේ පහළවීමෙන් මේ මහ පොළොවද, සිනෙරු පර්වත රාජයාද ගිනිගෙන ඇවිලෙයි. දිලිහෙයි. එකම ගිනි ජාලාවක්‌ බවට පත්වෙයි. මහණෙනි, මේ මහපොළොවත් සිනෙරු පර්වතයත් දැවි දැවී යත්ම වාතයෙන් විසිවී, එනම් පාවී යමින් ගින්දර බඹලොව දක්‌වාම යති.'

'මහණෙනි, ඇවිලී ගිය දැවෙන මහා ගිනි කඳින් මැඩුණු සිනෙරු පර්වත රාජයාගේ සියක්‌ යොදුන් උසැති කූටයෝද බිඳ වැටෙති. දෙසියක්‌ උසැති, තුන්සියයක්‌ උසැති, හාරසියයක්‌ යොදුන් උසැති, පන්සියයක්‌ යොදුන් උසැති ගල් කුලුහුද බිඳ වැටෙති. 

'මහණෙනි. ඇවිලගත් දැවෙන මේ මහපොළොවෙහිද සිනෙරු පර්වත රාජයාගේද අළු හා දැලි නොපෙනේ. මහණෙනි, ඇවිලගෙන දැවෙන ගිතෙල්හි හෝ යම් තෙල්හි අළු හෝ දැලි නොපෙනෙන්නේද, එසේම ඇවිලගෙන දැවෙන මේ මහපොළොවෙහි හා සිනෙරු පර්වත රජයාගේද අළු හා දැලි නොපෙනෙයි.'

'මහණෙනි, මේ මහ පොළොවෙහි හා සිනෙරු පර්වතරාජයා ගින්නෙන් දැවෙන්නාහ. වැනසෙන්නාහ. නොපවත්නාහ. සෝතාපන්නයන් හැර වෙන කවරක්‌ කතාකිරීමට සමත් වේද? අදහන්නේද?

මෙයට පිලිතුරු දීමට භාග්‍යවතුන් වහන්සේ මෙවැනි කතා පුවතක්‌ ගෙනහැර දක්‌වති. එය උතුම් වූ අවවාදයකි.

'මහණෙනි, පෙරසිදුවීමකින් දෘෂ්ටියක්‌ ඇතිකරගත්, කාමයන්හි රාගය පහකළ සුනෙත්ත නම් ශාස්‌තෘවරයෙක්‌ විය. සුනෙත්ත ශාස්‌තෘවරයාට නොයෙක්‌ සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. මහණෙනි, සුනෙත්ත ශාස්‌තෘවරයා බ්‍රහ්ම ලෝකයට යාම පිණිස ශ්‍රාවකයනට දහම් දෙසයි. මහණෙනි, බ්‍රහ්ම ලෝකයට යාම පිණිස දහම් දෙසන සුනෙත්ත ශාස්‌තෘහුගේ අනුශාසනය යම් කෙනෙක්‌ සියලු ආකාරයෙන් දැනගත්තේද, ඔහු මරණින් මතු සුගති සංඛ්‍යාත බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුණාහ. යමෙක්‌ අනුශාසනය සියලු ආකාරයෙන් නොපිළිපැද්දේ ඔහු මරණින් මතු පරනිම්මිත වසවත්තියෙහි ඉපදුණාහ. ඇතැම්හු නිම්මාණරති දෙවියන් සමීපයේද, ඇතැමෙක්‌ තුසිත දෙවියන් සමීපයේද, ඇතැම්හු යාම දෙවියන් සමීපයේද, ඇතැම්හු තාවසිංහ දෙවියන් සමීපයේද, ඇතැම්හු චතුම්මහරාජික දෙවියන් සමීපයෙහිද ඉපදුණාහ. ඇතැම්හු ක්‍ෂත්‍රීය මහා සාරයන් වෙතද, ඇතැම්හු බ්‍රාහ්මණ මහාසාරයන් වෙතද, ඇතැම්හු ගෘහපති මහාසාරයන් වෙතද ඉපදුණහ.' මෙම සුනෙත්ත ශාස්‌තෘවරයාට මෙබඳු සිතක්‌ පහළ විය. පරලොවදී ශ්‍රාවකයන් හා සමානව ඉපදුණොත් එය මට නොගැළපෙයි. එම නිසා මෛත්‍රී ධ්‍යානය වඩන්නෙමි යි යනුවෙනි. සුනෙත්ත ශාස්‌තෘවරයා සත්වසක්‌ මෛත්‍රී ධ්‍යානය වඩා සත්ත සංවට්‌ටවිවට්‌ට කල්පයක්‌ මිනිස්‌ ලොව උපදින්නට නොපැමිණේය.

ලෝක විනාශවන විට ආභස්‌සර ස්‌වභාවයටද ලෝකය විවෘත වන විට ශූන්‍ය බව බ්‍රහ්ම විමානයෙහිද උපදියි. ඔහු මහා බ්‍රහ්මයා විය. තිස්‌හය වරක්‌ ශ්‍රක දේවේන්ද්‍රයා විය. අනේක වාරයක්‌ සක්‌විති රජව ධාර්මිකව ධර්මරාජව, සිව්සාගර කෙළවර කොට මහ පොළොව ඇතියේ සතුරන් දිනන්නේ, ජනපදවල ස්‌ථාවර බවට පැමිණ සත්රුවනින් පොහොසත් විය. ඔහුට සූර වූ දහසින් වැඩි පුත්‍රයෝ වූහ. හෙතෙම සාගර කෙළවර කොට මේ පොළොව අවි ආයුධ, දඬු මුගුරු නොදරා දැහැමින් යුතුව ඉසුරුමත් විය. එම සුනෙත්ත ශාස්‌තෘ තෙම මෙසේ දීර්ඝායුෂ ලැබුවත්, ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි ආයාසයෙන් නොමිදුණේම විය. දුකින් නිදහස්‌ නොවූයේ යෑයි කියමි. 

ඉහත දැක්‌වූයේ ලෝක විනාශය පිළිබඳ සඳහස්‌ සත්ත සූරියග්ගමන සූත්‍ර දේශනාවේ සම්පූර්ණ අදහසයි. මෙම සූත්‍ර දේශනාවේ තොරතුරු සමග අදහස්‌ පෙළක්‌ අප ඉදිරිපත් කරමු.

බුදුදහමට අනුව ලෝක විනාශය සිදුවන්නේ දෙවියන්ගේ ශාපයක්‌ නිසා හෝ වෙනයම් නොපෙනෙන බලවේගයක්‌ නිසා නොවෙයි. එසේ නම් හේතුව කුමක්‌ද? පිළිතුර නම් ලෝකවාසී සත්වයන්ගේ රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස්‌ බහුලවීම නිසාය. 

මෙම කෙලෙස්‌ මුල්කරගෙන සත්වයින් විසින් අප්‍රමාණ අකුසල් රැස්‌කරති. මේ නිසාම වතුරෙන්, ගින්නෙන් හා සුළඟින් ලෝක විනාශය සිදුවෙයි. මනුෂ්‍යයන් කෙරේ පවත්නා රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස්‌ උත්සන්න වීමෙන්, මනුෂ්‍යයන් කෙරේම ඇතිවන විනාශය, කොසොල් රජතුමාගේ සිහින දහසයෙන් පැහැදිලි වෙයි. ඉන් එකක්‌ නම් බීජයක්‌ හටගෙන කුඩා කාලයේම මල් ගෙඩි හටගෙන කෙටි කලෙකින් ගස විනාශවීමයි. මෙය මනුෂ්‍යයන්ගේ ආයුෂ අඩුවීමේ කතාවයි. අවුරුදු අට, දහය වන විට ඉපිද, දරුවන් ලබා මියයාමයි. වර්තමානයේද ජලයෙන්, ගින්නෙන්, සුළඟින් සිදුවන විනාශයන්ට මිනිස්‌ ප්‍රජාවම වගකීම භාරගත යුතු නොවේද? ලෝභාදී කෙලෙස්‌ නිසා ප්‍රාණඝාතයේ පටන් අකුසල් සිදුකරන විට විනාශවන්නේ මෙම ස්‌වභාවික පරිසරයම නොවේද? පරමාණු බෝම්බ, න්‍යෂ්ටික අවි, සුළඟින් විනාශය රැගෙන යන රසායනික අවි එයට නිදසුන් නොවේද? ලෝක විනාශය සමීපද නැද්ද යන්න තීරණය වීමේදී මනුෂ්‍යයන්ගේ කුසල්, අකුසල්ද ප්‍රධාන නිර්නායක වන බව පැහැදිලිය. මධ්‍යස්‌ථව විමසීමේදී පැහැදිලිවන කරුණ වන්නේ අප වඩාත් කුසල් මඟට හෙවත් සීල, සමාධි, ප්‍රඥ වඩන මඟට යොමුවීමෙන් හේතුඵල දහමට අනුව විනාශවන ලෝකයට ඉඩදී ජීවත්වීමය. බෞද්ධ දර්ශනයට අනුව පවසන්නේ නම් ලෝකය නම් වූ ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්‌ඛ, දෝමනස්‌සයන්ගෙන් ඇතිවන භයානක විනාශයෙන් සදහටම මිදීමට තෘෂ්ණාව මුළුමනින්ම ප්‍රහාණය කිරීමයි. කිසිදු ලෝක විනාශයක්‌ ගැන බියක්‌ එවිට නැත.

භාවනාව මගින් සිරුරේ ජාන සැකැස්ම වෙනස් වන බව හෙළිවේ

භාවනාව මගින් යහපත් සෞඛ්‍ය ප‍්‍රතිඵල අත් කරදෙන බවට වන විශ්වාසයන් මැද එය විසින් ශරීරයේ රසායනික ක‍්‍රියාකාරීත්වය වෙනස් කරන බව තහවුරු කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.
ඇමරිකාවේ විස්කොන්සින්හි, ස්පාඤ්ඤයේ සහ ප‍්‍රංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් අනාවරණය කර ඇත්තේ එළඹ සිටි සිහියෙන් යුක්තව සිටින භාවනාවක් අභ්‍යාස කරන පුද්ගලයෙකුගේ ශරීරයේ ජාන සැකැස්ම වෙනස් වන බවයි.
මෙම පර්යේෂණය සඳහා ඔවුන් පුහුණු භාවනානුයෝගීන් පිරිසක් දිනක කාලයක් තුළ භාවනාව අභ්‍යාස කිරීමට යොදවා ඇති අතර සාමාන්‍ය පිරිසක් නිහඬ සහ සන්සුන් කාර්යයන් සඳහා යොදවා තිබේ.
ආරම්භක අවස්ථාවේදී දෙපිරිසේ ජාන සැකැස්මේ වෙනසක් නොතිබී ඇති නමුත් භාවනාව කරගෙන යාමේදී ජාන නියාමනය කරන රසායනිකන්ගේ වෙනසක් සිදුවී ඇති අතර කෝපාවිෂ්ඨ බවට බලපාන ජානයන් අඩුවී ඇතැයි වාර්තා වේ.
මෙමගින් මානසික පීඩාකාරී තත්වයක සිට ඉක්මනින් යථා තත්වයට පත්වීමට අවකාශ සලසන බව පර්යේෂකයින් පවසති.  පර්යේෂණ කණ්ඩායම් ප‍්‍රධානි රිචඞ් ජේ. ඬේවිඞ්සන් පවසා ඇත්තේ මෙය භාවනාව මුලින් ශරීරයේ රසායනික සංයුතිය වෙනස් වන බව තහවුරු කළ පළමු පර්යේෂණය බවයි.
මෙම පර්යේෂණ ප‍්‍රතිඵල ඉදිරි ප‍්‍රතිකාර ක‍්‍රම ගණනාවක් සඳහා භාවිතා කිරීමට හැකිවනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කර තිබේ. 

January 14, 2014 at 9:17 am | lanka C news